ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදා සේවා වනිතා ඒකක මගින් පාසල් දරුවන්ට අත්‍යවශ්‍ය පාසල් උපකරණ සහ පොත්පත් බෙදා දෙයි

අගෝස්තු 12, 2024

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය සහ ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව අද (අගෝස්තු 12) දින හොරණ, කුරණ ප්‍රාථමික විද්‍යාලය සහ කළුපහන කනිෂ්ඨ විද්‍යාලයේ දී අත්‍යවශ්‍ය පාසල් උපකරණ සහ පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදි.

ආරක්‍ෂක අමාත්‍යාංශයෙහි සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මැතිනියගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මැතිනියගේ මූලිකත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන් වලදී එකී පාසල් දෙකෙහි තෝරාගත් සිසුන් පිරිසක් සඳහා ආසන්න වශයෙන් රු. 10,000 ක් පමණ වටිනා පාසල් බෑග්, පාවහන්, ලිපි ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාසල් උපකරණ කට්ටලය බැගින් ප්‍රදානය කරන ලදි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන) ගාමිණී මහගමගේ මහතා, අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු සහ ප්‍රතිපත්ති) ඉන්දිකා විජේගුණවර්ධන මහත්මිය, අතිරේක ලේකම් (සිවිල් ආරක්‍ෂක හා සංවර්ධන) සමන් දිසානායක මහතා, හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර, 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්.වික්‍රමරත්න සහ සේවා වනිතා ඒකකයන්හි සාමාජිකාවන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.