ඕස්ට්‍රේලියානු දේශසීමා බලකා ප්‍රධානි ආරක්‍ෂක ලේකම් හමුවෙයි

අගෝස්තු 14, 2024

ඕස්ට්‍රේලියාවේ ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම් ප්‍රධානි රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිසක් අද (අගෝස්තු 14) උදෑසන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි රියර් අද්මිරාල් සොන්ටර්, Indo-Pacific Endeavour හි ප්‍රධානි කොමදෝරු මයිකල් හැරිස් සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඇමැන්ඩා ජොන්ස්ටන් ඇතුළු ඔස්ට්‍රේලියානු දූත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගත් ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න ඔවුන් සමග සුහද කතාබහක නිරත විය.

ශ්‍රී ලංකාව විසින් ආරම්භ කර ඇති මිනිස් ජාවාරමට එරෙහි ප්‍රයත්නයන් ඇගයීමට ලක් කල රියර් අද්මිරාල් සොන්ටර් දේශීය ශ්‍රමිකයින් හට පුහුණු අවස්ථා වැඩි කිරීම සඳහා ඔවුන් තුළ ඇති අභිප්‍රාය පිලිබඳව ද මෙම සාකච්ඡාවේදී කරුණු සඳහන් කළේය.
 
රියර් අද්මිරාල් සොන්ටර් විසින් ලබාදෙනු ලබන සහයෝගයන්ට ආරක්‍ෂක ලේකම්වරයා සිය කෘතඥතාව පළ කළ අතර, ඔවුන් සමඟ ඉදිරියේදී ද සමීපව කටයුතු කිරීම වෙනුවෙන් සිය කැමැත්ත පළ කළේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද සහභාගී විය.