නවසීලන්ත මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

අගෝස්තු 14, 2024

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්, අතිගරු David Pine මැතිතුමා අද (අගෝස්තු 14) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව ජෙනරල් ගුණරත්න අද පෙරවරුවේ නවසීලන්ත තානාපතිවරයා සමඟ සුහද කතාබහක නිරත විය. නවතමයෙන් පත්වූ නවසීලන්ත තානාපතිවරයා වෙත ආරක්‍ෂක ලේකම්වරයා ඔහුගේ නව තනතුර උදෙසා සිය සුබපැතුම් එක් කල අතර, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ ආරක්‍ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට ඇති තම අභිලාෂය මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයා මහ කොමසාරිස්වරයා වෙත ප්‍රකාශ කළේය.

වඩා යහපත් සහයෝගීතාවයක් සහ පවතින සමීප සබඳතා වැඩි දියුණු කර ගැනීමට කටයුතු කිරීම සඳහා වන කැපවීම පිළිබඳව නවසීලන්ත මහ කොමසාරිස්වරයා ආරක්‍ෂක ලේකම්වරයාට සිය ස්තුතිය පුද කළේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද සහභාගී විය.

.