කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 13 වැනි ශ්‍රී ලංකා ආර්ථික පර්යේෂණ සමුළුව 2024

අගෝස්තු 15, 2024

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් 13 වැනි ශ්‍රී ලංකා ආර්ථික පර්යේෂණ සමුළුව 2024 පසුගියදා (අගෝස්තු 09) පවත්වන ලදී.

ආර්ථික අර්බුදයෙන් මිදීමේ මාර්ගයක් ලෙස Back to Basics Policy Stance යන කාලෝචිත තේමාව යටතේ පැවති මෙම සමුළුව සංවිධානය කරන ලද්දේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය කළමනාකරණ, සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨය විසිනි.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් එච් ජී යූ දම්මික කුමාර සමාරම්භක සැසියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා ශ්‍රී ලංකාවේ අර්බුදය, ප්‍රකෘතිය සහ ඉදිරි ගමන යන මාතෘකාව යටතේ ප්‍රධාන දේශනය සිදු කළ බව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය අනාවරණය කරන ලදී.

දශක හතරකට වැඩි ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ එකම ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තුලින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ දේශීය මෙන්ම විදේශීය උපාධිධාරීන් ද බිහි කෙරේ. මෙම විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලබන උපාධි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන අතර කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ (එක්සත් රාජධානිය) සහ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංගමයේ සාමාජිකත්වය දරනු ලබයි.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යාඥයින්ගේ සංසදයේ සභාපති ආචාර්ය වසන්ත ප්‍රේමරත්න, කළමනාකරණ, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ලක්ෂිකා ලියනගේ, 13 වැනි ශ්‍රී ලංකා ආර්ථික පර්යේෂණ සභාපති ආචාර්ය තමරා ජයසුන්දර යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රකට ආර්ථික විද්‍යාඥයින් මෙම පර්යේෂණ සමුළුවට සහභාගි වූහ.

සමාරම්භක උත්සවයෙන් අනතුරුව පැවති විද්වත් කථිකාව මහාචාර්ය එන් එස් කුරේ විසින් මෙහෙයවන ලද අතර ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ, ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ අධ්‍යක්‍ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප්‍රසාද් ධර්මසේන, Ma’s Tropical Food Processing පුද්ගලික සමාගමේ ෂෙරාන් ද අල්විස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ උපුල් ජයතිස්සගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික භූ දර්ශණයට සරිලන විවිධ ආර්ථික ප්‍රවේශයන් සම්බන්ධ මාතෘකා සාකච්ඡා කරමින් වටිනා අවබෝධයක් මෙහිදී ලබා දෙන ලදී. ඉන් අනතුරුව පැවති තාක්‍ෂණික සැසියේ දී විශ්වවිද්‍යාලයීය සහ ආයතනික විද්වතුන් විසින් විවිධ අංශ පිළිබඳව සැලකිය යුතු පර්යේෂණ අවබෝධයක් ලබා දෙන ලදී. තවද මෙහිදී පැවති එක් එක් සැසි සඳහා සභාපතිවරුන් ලෙස කටයුතු කරමින් සම්මානිත මහාචාර්ය පී හේවගේ, මහාචාර්ය ගංගානී සමරවීර, මහාචාර්ය එම්එම්ඩීආර් දීගහවතුර, ආචාර්ය ඒ එම් ඉන්දික ගුණරත්න, මහාචාර්ය ඒ එම් එම් මුස්තාෆා, සරෝජිනී මහේෂ්වරනාදන්, මහාචාර්ය ආර් ඒ රත්නසිරි, එස් සන්තිරකුමාර්, ආචාර්ය එස් ඩබ්ලිව් ජී කේ බුලන්කුලම, ආචාර්ය ඒ ඒ එම් නුෆයිල්, ආචාර්ය තමරා ජයසුන්දර, වෛද්‍ය ශෂී වීරවංශ, ආචාර්ය අබ්දුල් කාදර් මොහොමඩ් හනාස්, ආචාර්ය ආර් එම් එන් ටී සිරිසෝම, ආචාර්ය ටී කේ කරන්දකැටිය, මහාචාර්ය එන් එස් කුරේ, මහාචාර්ය සුරේෂ් කනේෂ්, මහාචාර්ය එච් එම් ඒ හේරත් සහ ආචාර්ය ඩබ්ලිව් ප්‍රේමරත්න යන විද්වතුන් මෙම සමුළුව සම්බන්ධීකරණය කරමින් සිය විශේෂඥ දැනුම බෙදා හදා ගැනීමට කටයුතු කරන ලදී.

කෘෂිකර්මය සහ ග්‍රාමීය සංවර්ධනය, ඩිජිටල් ආර්ථිකය සහ නවෝත්පාදනය, අධ්‍යාපනය සහ මානව ප්‍රාග්ධනය, මූල්‍ය යටිතල පහසුකම්, නියාමන රාමුව සහ පාලනය, ශ්‍රම වෙළඳපොළ, සාර්ව ආර්ථික මූලිකාංග, යටිතල පහසුකම් සංවර්ධනය, සමාජ සහ පාරිසරික වගකීම් සහ වෙළඳ සහ ගෝලීය සබඳතා ඇතුළු තේමා ඔස්සේ තාක්‍ෂණික සැසි පැවැත්විණි.

13 වැනි ශ්‍රී ලංකා ආර්ථික පර්යේෂණ සමුළුව නිමාවෙන් අනතුරුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යාඥයින්ගේ සංසදයේ 50 වැනි රැස්වීම පැවැත්වූ අතර එහි ආරම්භයේදී මෙම සංසදයේ සම නිර්මාතෘවරයා ලෙස මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් විසින් කරන ලද පුරෝගාමී කාර්යභාරය වෙනුවෙන් එහි සාමාජිකයින් සිය කෘතඥතාව පළ කරන ලදී.