ඇමරිකානු වැඩබලන සහකාර ලේකම් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් හමුවෙයි

අගෝස්තු 21, 2024

ඇමරිකා එක්සත් ජනපදයේ සාගර සහ ජාත්‍යන්තර පාරිසරික හා විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජොන් මැතිණිය අගෝස්තු 20 දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි සිය කාර්යාලයේදී හමුවිය.

ඊයේ දින පස්වරුවේ තම කාර්යාලය වෙත පැමිණි අමෙරිකානු දූත පිරිස රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශවය අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ විය.

මෙහිදී ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ විවිධ විෂය ක්ෂේත්‍රයන්හි විශේෂඥයින් හට එක්ව කටයුතු කිරීමේ අවස්ථාවන් වැඩි කිරීමටත් සහ ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය මිනුම් කටයුතු දියුණුකිරීමට අවැසි සහයෝගය ලබාගැනීම පිළිබඳව මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කරනු ලැබිය.

සාකච්ඡාව අවසානයේ එම අවස්ථාවේ සුවිශේෂීත්වය සනිටුහන් කරමින් දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුවිය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන ජල ශාස්ත්‍රීය නිලධාරී රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය ද මෙම අවස්ථාවට එක් විය.