නාවික හමුදාව විසින් රුවන්වැලි සෑය පරිශ්‍රයේ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු ඒකකයක් පිහිටුවයි

දෙසැම්බර් 27, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය ප්‍රජා සුභසාධන අරමුණු කරගත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යමින් අනුරාධපුර, රුවන්වැලි සෑය පරිශ්‍රයේ තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු ඒකකයක් ඊයේ (දෙසැම්බර් 26) ඉදිකරන ලදී.

පූජනීය මහා ස්ථූපයට වැඳුම් පිදුම් කිරීම සඳහා වසර පුරා පැමිණෙන බැතිමතුන් දහස් ගණනකට මෙමඟින් ආරක්ෂිත පානීය ජලය ලබාදීමට අපේක්ෂා කෙරේ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු ඒකකය මහජනයා සඳහා විවෘත කරන ලදි.

නාවික හමුදාවට අනුව, ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු ව්‍යාපෘතියේ ඊයේ දින වීවෘත කරන ලද 800 වන ඒකකය විශේෂ සන්ධිස්ථානයක් පසු කරන අතර, එය දිවයිනේ ජල හිගයට ලක්වූ ජනතාවට පහසුකම් සැලසීම සඳහා සකස් කරනු ලැබු මෙම ව්‍යාපෘති මඟින් කලාපීය නිදන්ගත වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීම සඳහා සුදුසු විසඳුමක් ද වනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, නාවික සමාජ සුභසාධන අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් මෙහි  වැඩ කටයුතු සිදු කෙරිණි.

සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම අවස්ථාව සංවිධානය කරන ලද බව නාවික හමුදාව පවසයි.

අනුරාධපුර ස්වර්ණමාලි මහා චෛත්‍යරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක  අතිපූජ්‍ය පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නාහිමියන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ  සභාපතිනි චන්දිමා උළුගේතැන්න, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්, නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් ඇතුළු බැතිමතුන් පිරිසක් ද මේ සඳහා සහභාගී වී සිටියහ.