67 වැනි ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්වීම
ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ

අගෝස්තු 22, 2024

ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුවේ 67 වැනි සැසිවාරය අද (අගෝස්තු 22) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

රට තුල ඇති විය හැකි ඕනෑම ආපදා තත්වයක් සඳහා මුහුණදීමට අවශ්‍ය පෙර සුදානම ඇති කිරීම සහ එවැනි ආපදා තත්වයන්හිදී අවශ්‍ය කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා ජාතික මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන උපායමාර්ගික ක්‍රියාවලියේ මූලික පදනම වශයෙන්, ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුව ක්‍රියා කරනු ලබන බව මෙහිදී අදහස් දක්වමින් ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න ප්‍රකාශ කලේය. එමෙන්ම එම කමිටුව මගින් සාකච්ඡා කොට ගනු ලබන තීන්දු තීරණ ඔස්සේ මෙරට පුරවැසියන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීමට, ඔවුන්ගේ ජීවනෝපායන් සුරැකීමට මෙන්ම ශ්‍රී ලාංකික ජාතිය සතු පොහොසත් සංස්කෘතික හා ස්වභාවික උරුමයන් ආරක්‍ෂා කිරීමට ද අවශ්‍ය කටයුතු යොදනු ලබන බවද ප්‍රකාශ කලේය.

"නව්‍යකරණය වූ කැපවීම් සහ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම ඔස්සේ ඕනෑම අභියෝගයකට ඔරොත්තු දෙන ප්‍රජාවක් නිර්මාණය කිරීම" යන තේමාව යටතේ මෙවර ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුවේ 67 වන සභාවාරය පවත්වනු ලැබූ අතර, එමගින් දිවයින තුළ ඇතිවිය හැකි ආපදා තත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සහ ආපදා අවදානම් අවම කිරීම වැඩි දියුණු කිරීම සඳහා වන එම කමිටුවේ සාමූහික කැපවීම පිළිබඳ තහවුරු කරනු ලබයි.

මෙම අවස්ථාවට ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්‍ෂ Abdurrahim Siddiqui මහතා ද එක් වූ අතර, ලෝක ආහාර වැඩසටහන නියෝජනය කරමින් එහි මෙරට නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සහ වැඩසටහන් ප්‍රධානී Gerard Rebello මහතා විසින් මෙහිදී සභාව ඇමතිය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සම්බන්ධ වූ සම්පත්දායක නිලධාරීන් විසින් ආපදා කළමනාකරණය විෂයානුබද්ධව දේශීය සහ ගෝලීය වශයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම, පූර්ව අනතුරු ඇඟවීම් සහ හදිසි මෙහෙයුම් පිළිබඳව මෙන්ම පසු ආපදා තත්ත්වයන්හිදී අවශ්‍ය සහන සැලසීම, සුබසාධන කටයුතු, ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණය ආදී විශේෂ මාතෘකා කිහිපයක් ඔස්සේ ඉතා වටිනා අවබෝධයක් ලබා දෙමින් ශ්‍රව්‍ය දෘශ්‍ය ඉදිරිපත් කිරීම් කිහිපයක් සිදුකරනු ලැබීය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරු, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නියෝජිත නිලධාරීන් ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තර සහයෝගිතා ආයතන නියෝජිතයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ