මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ 10 වන අදියරේ අවසන් යුද අභ්‍යාසය
නිරීක්‍ෂණයට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

අගෝස්තු 24, 2024

ඉන්දු - ලංකා යුද්ධ හමුදාවන් අතර, සුහදත්වය වර්ධනය කිරීම, සහයෝගීතාව ඇති කිරීම වෙනුවෙන් පැවැත්වූ 'මිත්‍ර ශක්ති 10 අදියර' ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අවසන් අභ්‍යාසය මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල් ක්‍රීඩාංගනයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු මස 23 දින පැවැත්විණී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය හමුදාව අතර, සුහදත්වය, සහයෝගීතාවය ඇතිකිරීම හා බැඳීම් ශක්තිමත් කිරීම සඳහා පවත්වන ලද මෙම අභ්‍යාසයේදී යුධබිමේ යොදාගත හැකි උපක්‍රමය පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික පුහුණු පැවත්විය. මීට අමතරව, සහභාගී වූ දෙරටේ හමුදාවන් අතර, මෙහෙයුම් හැකියාවන් සහ සුහඳත්වය ඉහළ නැංවීම සඳහා ‘මිත්‍ර ශක්ති’ අභ්‍යාසය වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබයි. මෙම ඒකාබද්ධ පුහුණුව තුළින් අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කරන අතර, සාම්ප්‍රදායික යුද්ධයක ප්‍රතිත්‍රස්ථ මෙහෙයුම් සිදුකිරීම පිළිබඳ හැකියාවන් වර්ධනය කරයි. මෙම අභ්‍යාස අතරතුරදී සහයෝගීතාවය, උපායශීලී දැනුම, උපායමාර්ගික අවබෝධය ලබාගැනීම සහ ඒවා හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමි වූ අතර, එමඟින් හමුදාවන් අතර සූදානම සහ අනුවර්තනය වීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ හමුදා රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීම සහ ශක්තිමත් ආරක්‍ෂක සබඳතා ගොනැඩැඟිම සිදුකරනු ලබයි.

කර්නල් රවින්ද අහලවත්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය යුද්ධ හමුදා කණ්ඩායම මෙම අභ්‍යාසයට සහභාගී වූ අතර, භට පිරිස් අතර සුහදත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් සංස්කෘතික හා ක්‍රීඩා ඉසව්ද ඇතුළත් විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහභාගි විය. ඉන්දීය මහ කොමසාරිස්, සන්තෝෂ් ජා මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදාවේ සෙසුනිලයන්ද සහභාගී වූහ.

මෙම උත්සවයේදී යුද හමුදාධිපතිතුමන් විසින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සහ ඉන්දීය මහ කොමසාරිස්තුමන් වෙත සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදී. අනතුරුව, දෙරටේ භට පිරිස් විසින් මෙම අභ්‍යාසයන් සඳහා භාවිත කළ යුධ උපකරණ ප්‍රදර්ශනයකින් අනතුරුව උත්සව කටයුතු අවසන් විය.

අනුග්‍රහය - www.army.lk