ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ නෞකාව නිල සංචාරයක් සඳහා
කොළඹ වරායට පැමිණෙයි

අගෝස්තු 26, 2024

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් ‘INS Mumbai’ නෞකාව, දිගින් මීටර් එකසිය හැට තුනක් (163) හා නැව් මුළුව හාරසිය දහ දෙනෙකුගෙන් (410) සමන්විත වේ. නෞකාවේ අණදෙන නිලධාරී, ‍කපිතාන් සන්දීප් කුමාර් (Captain Sandeep Kumar) සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් අද දින (2024 අගෝස්තු 26) එම විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි.

එමෙන්ම, ‘INS Mumbai’ යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති අතර, නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් නෞකාව තුළදී පැවැත්වීමටද නියමිතව ඇත.

තවද, බටහිර නාවික විධාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ පැවැත්වෙන පුහුණු අභ්‍යාසයකින් (PASSEX) අනතුරුව, මෙම නිල සංචාරය අවසන් කරමින් ‘INS Mumbai’ යුද නෞකාව 2024 අගෝස්තු මස 29 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

අනුග්‍රහය - www.navy.lk