සයිබර් ආරක්‍ෂක විධානය විසින් Aegis Lexicon - 2024 ජංගම දැනුවත් කිරීමේ වැඩසටහන
විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පවත්වයි

අගෝස්තු 27, 2024

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආරක්‍ෂක සයිබර් විධානය විසින් Aegis Lexicon - 2024 හි තෙවැනි සැසිවාරය පසුගියදා (අගෝස්තු 24) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම සැසිය, ජාතියේ තීරණාත්මක ජාතික තොරතුරු යටිතල ව්‍යුහය ආරක්‍ෂා කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, රාජ්‍ය අංශය පුරා සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් පුළුල් මුලපිරීමක කොටසකි.

මෙම වැඩසටහන් මාලාවේ පළමු සැසිවාර දෙක අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සහ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූ අතර සයිබර් ආරක්‍ෂාව පිළිබඳ රාජ්‍යය ආයතන දැනුවත් කිරීමේ ශක්තිමත් වැඩපිළිවෙලක් ඇති කිරීම පිළිබදව මෙම සැසියේදී තීරණය විය.

Aegis Lexicon වැඩසටහන් මාලාව ඩිජිටල් අවකාශය තුළ සයිබර් ප්‍රහාර සහ ඒ හරහා ඇති වන අවදානම් හේතුවෙන් ජාතික ආරක්‍ෂාවට බලපාන තර්ජනවලට එරෙහිව ක්‍රියා කිරීම සඳහා සයිබර් ආරක්‍ෂක විධානය විසින් කරන ලද උපායමාර්ගික මුලපිරීමකි. මෙම වැඩසටහන්වල මූලික පරමාර්ථය වන්නේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් පුද්ගලයින් ජාතික ආරක්‍ෂාවට බලපාන අත්‍යවශ්‍ය තොරතුරු ආරක්‍ෂා කිරීම සඳහා හොඳින් දැනුවත්ව සහ සන්නද්ධව සිටීම සහතික කිරීමයි.

මෙම තුන්වන වැඩසටහන සඳහා අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් සහ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ පුළුල් පරාසයක ක්‍රියාකාරී සහභාගීත්වය දක්නට ලැබිණි. මෙම වැඩසටහනෙහි වැදගත්කම හඳුනා ගනිමින්,ලොව පුරා තානාපති කාර්යාලවල ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයින් ද සම්බන්ධ වූහ.

මෙම ක්‍රියාකාරී වැඩමුළුව සඳහා සහභාගිවූවන් විෂය පිළිබද ගැඹුරින් සාකච්ඡා කරමින්, සිය දැනුම හුවමාරු කරගනිමින් සයිබර් ආරක්ණයේ හොඳම භාවිතයන් පිළිබඳ කරුණු හුවමාරු කර ගන්නා ලදී.

සයිබර් ආරක්‍ෂක විධානය විසින් නැගී එන සයිබර් තර්ජන, අවදානම් අවම කිරීමේ උපාය මාර්ග සහ රාජ්‍ය අංශය තුළ ශක්තිමත් සයිබර් ආරක්‍ෂණ රාමුවක වැදගත්කම පිළිබඳ සවිස්තරාත්මක මග පෙන්වීමක් සපයන ලදී.

රටේ සයිබර් අවකාශය සුරක්ෂිත කිරීම සඳහා සයිබර් ආරක්‍ෂක විධානය ඉටු කරන ප්‍රධාන කාර්යභාරය සැලකිල්ලට ගෙන, Aegis Lexicon -2024 මාලාවේ සාර්ථකත්වය මෙරටෙහි සයිබර් ආරක්‍ෂණ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමේ සැලකිය යුතු දියුණුවක් නියෝජනය කරයි.

ජාතික ඩිජිටල් යටිතල පහසුකම් සුරක්ෂිත කිරීම සඳහා ක්‍රියාශීලී පියවර ගැනීමට රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ සවිබල ගැන්වීම පිළිබදව හා එහි කාර්යක්‍ෂමතාවය පිලිබදව මෙම වැඩසටහන පුළුල් ලෙස පැසසුමට ලක්ව ඇත.

සයිබර් තර්ජන අඛණ්ඩව තවදුරටත් විකාශනය වන විට, සයිබර් ආරක්‍ෂක විධානය රජය සහ ඉන් ඔබ්බට ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ අඛණ්ඩ අධ්‍යාපනය, දැනුවත් කිරීම සහ සහයෝගීතාවය තුළින් ජාතික ආරක්‍ෂාව ආරක්‍ෂා කිරීමේ මෙහෙවරෙහි ස්ථිරව සිටියි. Aegis Lexicon 2024 වැඩසටහන් මාලාව මෙම උත්සාහයේ වැදගත් අංගයක් ලෙස දිගටම පවතිනු ඇත.