යුද හමුදාව විසින් ඉදිකල CIMIC උද්‍යානයක් හා නව නිවාස කිහිපයක්
ප්‍රතිලාභීන් වෙත ලබා දෙයි

අගෝස්තු 28, 2024

කිලිනොච්චි ප්‍රජාවගේ අධ්‍යාපනික හා සමාජීය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඉදිකරන ලද CIMIC උද්‍යානය ප්‍රදේශවාසීන්ගේ ප්‍රයෝජනය සඳහා පසුගිය දා (අගෝස්තු 25) විවෘත කර ජනතා අයිතියට පත් කරන ලද බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව, අධ්‍යයන කටයුතු සඳහා වෙන්වූ කලාපයක්, පිරිසිදු ජල හා සනීපාරක්‍ෂක පහසුකම්, නොමිලේ Wi-Fi පහසුකම්වලින් සමන්විත මෙම නව පහසුකම් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය විසින් විවෘත කරන ලදි.

මෙම අවස්ථාවට යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සහ 55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් ජයවර්ධන ද සම්බන්ධ වූ බව මාධ්‍ය වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

තවද, යුධ හමුදාවේ තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමය යොදාගනිමින් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය ආධාර යටතේ උතුරු අර්ධද්වීපයේ ධර්මපුරම් (කිලිනොච්චි), ඊවනෙයි (යාපනය) සහ කොන්ඩාවිල් (යාපනය) යන ප්‍රදේශවල ඉදිකරන ලද නව නිවාස තුනක් එම ප්‍රතිලාභී පවුල් වෙත ලබාදීම ද පසුගිය අගෝස්තු 25 සහ 26 යන දිනයන් හිදී සිදුකරන ලදි.