වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කෙරුණු පළමු චෛත්‍යරාජයාණන් වහන්සේගේ
කොත නිරාවරණය කොට සම්බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය
ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්

සැප්තැම්බර් 01, 2024

පසුගිය යුධ සමයේ පරිහානියට පත් වූ උතුරු පළාත තුල පිහිටා තිබෙන දහස් සංඛ්‍යාත බෞද්ධ සිද්ධස්ථාන අතුරින් වව්නියාව දිස්ත්‍රික්කය තුල පිහිටි සපුමල්ගස්කඩ රජ මහා විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේ පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව සම්බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය, උතුරු පළාත් ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි නාහිමියන්ගේ ආරාධනයකට අනුව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 31 දින පස්වරුවේ එළඹි සුභ මුහුර්තයෙන් සිදුකරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති ඉපැරණි බෞද්ධ වෙහෙර විහාර අතරින් වව්නියා දිස්ත්‍රික්කයේ පිහිටි මෑතකාලීනව ප්‍රතිසංස්කරණය කර ඇති එකම ස්තූපය ඓතිහාසික සපුමල්ගස්කඩ රජමහා විහාරයයි.

ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය පූජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් විසින් සිදුකරනු ලැබීය. මෙහිදී ආරාම පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද ‘ආවාස ගෙය’, එහි සමරු ඵලකය නිරාවරණය කරමින් මහා සංඝරත්නය වෙත පූජා කිරීම ද ජෙනරාල් ගුණරත්න අතින් සිදුවිය.

ජනප්‍රවාදයට අනුව ත්‍රිකුණාමලයේ ලංකාපටුන වරායෙන් සම්බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ ලංකාවට වැඩම කරවන ලදුව දළදා පෙරහැර සපුමල්ගස්කඩ හරහා අනුරාධපුරයට වැඩම කරවා ඇත. එබැවින් මෙම ඓතිහාසික පුදබිම ප්‍රතිනිර්මාණය කිරීම සඳහා පරිත්‍යාගශීලි සැදැහැවත් බෞද්ධ ජනතාවගේ නොමසුරු දායකත්වය නිරන්තරයෙන් ලැබී ඇත.

රට ජාතිය කුරිරු ත්‍රස්තවාදයෙන් මුදවාගෙන සියලු ශ්‍රී ලාංකික ජනයාට නිදහසේ ජීවත් වීමට හැකි රටක් බිහිකිරීම වෙනුවෙන් සිදුකලා වූ මානුෂීය මෙහෙයුම අතරතුර දී මෙවැනි ඓතිහාසික පුදබිම් රාශියක් විනාශයට පත්ව ඇති අයුරු නිරීක්ෂණය වූ බවත්, බෞද්ධ සැදැහැති ජනීජනයාගේ වන්දනාමානය උදෙසා එම බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමෙහිලා යුද හමුදා සාමාජිකයන්ගේ ශ්‍රමය හා තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් වශයෙන් වව්නියාව ඓතිහාසික සපුමල්ගස්කඩ රජ මහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබූ බවත් මෙහිදී රැස්ව සිටි සභාව අමතමින් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කලේය.

තවද මීට සමගාමීව ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ පූර්ණ දායකත්වයෙන් වැඩ අවසන් සහ දැනට සංවර්ධන කටයුතු සිදුකෙරෙමින් පවතින ව්‍යාපෘති අතුරින් අනුරාධපුර සඳහිරු සෑය, මුලතිව් කුරුන්දි විහාරය, අම්පාර දීඝවාපි රජ මහා විහාරය සහ ලාහුගල නීලගිරි සෑය ප්‍රමුඛස්ථානයක් ගනු ලබන බවත් ඉදිරියේදීත් සිදුකෙරෙන එවැනි සංවර්ධන ව්‍යාපෘති සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන්ගේ නොමසුරු දායකත්වය ලබාදීමට හැකි වනු ඇති බවත් සඳහන් කළේය.

අතිපූජ්‍ය මහා සංඝරත්නය, ජගත් සුමතිපාල මහතා ප්‍රමුඛ පරිත්‍යාගශීලි සැදැහැවත් බෞද්ධ ජනතාව, ශ්‍රී ලංකා යුද හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සාමාජිකයන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් මෙම අති උතුම් පූජනීය අවස්ථාවට එක්ව සිටියහ.