රතු මුහුදේ ගැටුම්කාරී තත්වය තවදුරටත් උග්‍ර වීම ඔස්සේ ගෝලීය ආර්ථිකයට සහ
ශ්‍රී ලංකාවට එමගින් වන බලපෑම් සබැඳිව ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සාකච්ඡාවක

සැප්තැම්බර් 03, 2024

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රමුඛතම අධ්‍යයන ආයතනය වන ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් “Widening Red Sea Conflict: Implications for the Global Economy and Sri Lanka” යන කාලීන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ වට මේස සාකච්ඡාවක් පසුගියදා (සැප් 02) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික) මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ පුර්ණ අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ මෙම සාකච්ඡාව පැවැත්විණි.

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ වැඩබලන අධ්‍යක්ෂ (පර්යේෂණ) කර්නල් නලින් හේරත් විසින් මෙම සාකච්ඡාවට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනෙකුත් ආරාධිත අමුත්තන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබිය. එහිදී සාකච්ඡාවේ ආරම්භය සනිටුහන් කරමින් කර්නල් හේරත් විසින් මෙම සාකච්ඡාව මෙහෙයවන්නා සහ විද්වත් කථික මඬුල්ල පිලිබඳ කෙටි හැඳින්වීමක් සිදු කරන ලදී.

සාකච්ඡාවේ කේන්ද්‍රීය තේමාවන් වශයෙන් රතු මුහුද ආශ්‍රිත කලාපයේ විකාශනය වන භූ දේශපාලනික සන්දර්භය, එහි ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය ඔස්සේ ගෝලීය ආර්ථිකයට සිදුවන බලපෑම හා එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයට විය හැකි බලපෑම් මෙන්ම ඉන්දියන් සාගරයේ සමුද්‍රීය මුහුදු මාර්ගයේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ඉදිරියේදී ඇති විය හැකි අවස්ථාවන් ඵලදායි ලෙස යොදා ගනිමින් මෙරට ආර්ථිකමය හැකියාවන් ශක්තිමත් කිරීමේ උපාය මාර්ග ආදී විවිධ විෂයපථ කිහිපයක් ඔස්සේ දළ විශ්ලේෂණයක් සිදු කෙරිණ.

මුම්බායිහි Gateway House අධ්‍යයන ආයතනයේ ආර්ථික විද්‍යාව හා වෙළඳාම පිළිබඳ මහාචාර්ය සහ ලන්ඩනයේ ODI හී ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ආචාර්ය ගනේෂන් විග්නරාජා විසින් මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය සුජීතා ජෙගජීවන් මහත්මිය, ශ්‍රී ලංකාවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරතන්ත්‍රි මහතා සහ LIRNE Asia (Learning Initiatives on Reforms for Network Economies Asia) හි ආරම්භක සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා මෙහි ප්‍රධාන කථික මඬුල්ලේ සාමාජිකත්වය දැරුහ.

මෙම සාකච්ඡාව සඳහා නාවික හමුදාපති, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, විෂයානුබද්ධව කටයුතු කරනු ලබන විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් මෙන්ම විෂය විශේෂඥයන්, පර්යේෂකයන් හා විද්‍යාර්ථයින් ඇතුළු සම්භාවනීය ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වුහ.