ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂඥ දැනුමෙන් හා ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ
අපේක්‍ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කෙරේ

සැප්තැම්බර් 04, 2024

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් යුතුව ඉදිකරන ලද මහරගම අපේක්‍ෂා රෝහලේ ළමුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් වූ සිව්මහල් වාට්ටු සංකීර්ණය පසුගිය අඟහරුවාදා (සැප් 03) උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. රුපියල් මිලියන 150 ක් පමණ වටිනා මෙම ව්‍යාපෘතිය රුහුණු මහා කතරගම දේවාලයේ මුල්‍ය අනුග්‍රහයෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ‘හුස්ම’ ව්‍යාපෘතිය යටතේ වසරක් ඇතුළත නිම කරන ලද බව ගුවන් හමුදා මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නව ළමා වාට්ටු සංකීර්ණය අති නවීන පහසුකම්වලින් සමන්විත වන අතර, රෝගීන් 70 කට වැඩි පිරිසකට ප්‍රතිකාර කළ හැකි වේ. මුලින් තෙමහල් සංකීර්ණයක් ලෙස සැලසුම් කර තිබූ අතර, පසුව එය ගුවන් හමුදාව විසින් ශ්‍රමය සහ තාක්ක්‍ෂණය ලබාදීම හේතුවෙන් සිව්මහල් සංකීර්ණයක් ලෙස පුළුල් කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම රෝහලේ අනෙකුත් පහසුකම් ද ප්‍රතිසංස්කරණය කර ඇති අතර, එමඟින් රෝහලේ සමස්ත යටිතල පහසුකම් ද වැඩිදියුණු කර ඇත.

මෙම නව ගොඩනැගිල්ල භාරදීමේ උත්සව අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ, ඩිෂාන් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර, ගුවන් හමුදා ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ඩේමියන් වීරසිංහ සහ ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් චන්දන ගීතප්‍රිය ඇතුළු ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන් සහභාගි විය.