ජෙනරල් ගුණරත්නගේ 10 වැනි සාහිත්‍ය කෘතිය ‘රාජාලි සංදේශය’
නෙළුම් පොකුණේදී එළිදක්වයි

සැප්තැම්බර් 07, 2024
  • සිංහල සාහිත්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාව්‍ය සංග්‍රහය: ත්‍රස්තවාදය පරාජය කල දේශයේ විරුවන්ගේ විජයග්‍රහණය කාව්‍යමය පුනරාවර්තනයක් ලෙසින්...

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් රචනා කරන ලද කාව්‍ය 2579 කින් සමන්විත ශ්‍රී ලංකා සාහිත්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාව්‍ය සංග්‍රහය වන “රාජාලි සංදේශය” එළිදැක්වීම සැප් 06 දිනට යෙදුනු ඔහුගේ ජන්මදිනයේදීම කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු කෙරිණි.

මෙම වීර කාව්‍ය සංග්‍රහය ඔස්සේ එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දමනු වස් මෙරටේ විරෝධාර රණවිරුවන් විසින් සිදුකල අති බිහිසුණු සංග්‍රාමය සහ පෙර රජ දවස මෙරට ඉතිහාසයේ සිදු වූ තවත් එවැනි ඓතිහාසික සිදුවීම් ද සංසන්දනාත්මකව විමසා බැලෙන අතර කුරිරු යුද්ධයේදී හමුදා නිලධාරියෙකු වශයෙන් ජෙනරල් ගුණරත්න ලැබූ සිය පෞද්ගලික අත්දැකීම් ද එකට කැටි කොට ගනිමින් යුද්ධයේ සැබෑ ස්වරුපය තියුණු පිළිබිඹුවක් ලෙස කාව්‍යනුසාරයෙන් ඉදිරිපත් කරනු ලබයි.

නූතන ඉතිහාසයේ වේදනාකාරී වූ නමුදු ජයග්‍රාහී අවසානයක් සහිත පරිච්ඡේදයක් ජාතියේ ඉතිහාසයට එක් කළා වූ එම යුගය පිලිබඳ මතකයන් අලුත් කිරීමට මෙන්ම ශ්‍රී ලාංකේය සාහිත්‍ය වංශ කතාව පෝෂණය කිරීමට ද සැලකිය යුතු දායකත්වයක් මෙම කෘතිය මගින් සපයනු ලබයි. ජෙනරල් ගුණරත්න ශ්‍රී ලාංකේය සාහිත්‍යයට විශිෂ්ට කෘති රැසක් දායාද කළ පුරෝගාමී ලේඛකයෙකි.

එම කෘතියේ පළමු පිටපත ජෙනරල් ගුණරත්න සහ චිත්‍රානි ගුණරත්න මහත්මිය විසින් මහා සංඝරත්නය වෙත පිළිගැන්වීම සිදු කල අතර අනතුරුව මෙම අවස්ථාවට පැමිණි සම්භාවනීය අමුත්තන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක කරු ජයසූරිය, දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරල් විජය විමලරත්න යන ශ්‍රේෂ්ඨ රණවිරුවන්ගේ භාර්යාවන් වන ලලි කොබ්බෑකඩුව සහ මානෙල් විමලරත්න මහත්මීන් වෙත පිරිනැමීම මෙහිදී සිදු කරනු ලැබීය. තවද රණවිරුවන් නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්වූ ‘අභිමන්සල’ හි ආබාධිත රණවිරුවන් වෙත ද කෘතියේ පිටපත් පිළිගැන්වීම සිදු කරන ලදී.

අභිනවයෙන් එළිදක්වන ලද කෘතියේ සාහිත්‍යමය වැදගත්කම පිළිබඳ ප්‍රධාන දේශනය මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර විසින් පවත්වනු ලැබූ අතර, පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන් විසින් ද පාඨකයන් හට මෙම කෘතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් ලබා දෙන ලදී.

මෙම සාහිත්‍ය නිර්මාණයේ වැදගත්කම තවදුරටත් අවධාරණය කරමින් ජෙනරල් ගුණරත්න විසින් එහි පිටපතක් කොළඹ ආනන්ද විද්‍යාලයේ පුස්තකාලයට පරිත්‍යාග කරන ලද අතර, එම විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා විසින් පාසල වෙනුවෙන් සිදු කල මෙම අගනා දායකත්වය කාරුණිකව පිළිගත්තේය.

‘රාජාලි සංදේශය’ ශ්‍රී ලංකාවේ පාරම්පරික සංදේශ කාව්‍ය සංග්‍රහයන්ගේ අභාෂයෙන් රචනා කොට ඇති අතර, සාහිත්‍යය ඉතිහාසය දෙස විචාරාත්මකව විමසා බැලීමේදී බොහෝ විට කාව්‍යමය සංකේත තුළින් පණිවිඩ සම්ප්‍රේෂණය කිරීම සඳහා පක්ෂීන් යොදා ගෙන ඇති බව දැකිය හැකිය. මෙම කෘතිය රචනා කිරීමේදී ද ජෙනරල් ගුණරත්න, සාම්ප්‍රදායික කාව්‍ය සංදේශ ආකෘතිය නුතන තේමාවන් සමඟ මුසු කරමින් ඉදිරිපත් කොට ඇත.

පුරා දශක තුනක් මුළුල්ලේ රටම වෙළා ගත් එල්ටීටීඊ කුරිරු ත්‍රස්තවාදී ගැටුම් හා ඊට එරෙහිව අප රටේ ත්‍රිවිධ හමුදා විසින් සිදු කළා වූ අපරිමිත කැපකිරීම් සහ භාරදුර කාර්යභාරය ද කේන්ද්‍රගතව මෙම කාව්‍ය සංග්‍රහය රචනා කොට තිබීම විශේෂත්වයකි. ඊලාම් යුද්ධයේ අවසන් අදියරේදී අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන ජෙනරල් ගුණරත්න, එහිදී තම සහෝදර නිලධාරීන් සහ අනෙකුත් හමුදා සාමාජිකයින් ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියා, සිය ජිවිත පරිත්‍යාගයන් මෙන්ම ඔවුන් විසින් පෙන්නුම් කල වීරත්වය හා අප්‍රතිහත ධෛර්යය සියැසින් දැක තිබු අතර, එම සිදුවීම් විස්තර කිරීම සඳහා ඔහුගේ තනුවැකි භාවිතා කොට ඇත. ලේඛකයා විසින් යුධ බිමේ ඔහුගේම අත්දැකීම් ඇසුරින් යුද්ධයේ බිහිසුණුකම සහ තම මව්බිම ආරක්‍ෂා කිරීමට ඇප කැප වී ක්‍රියා කල විරුවන්ගේ චිත්ත හා කාය ශක්තිය විචිත්‍රවත්ව විස්තර කර තිබීම මෙහි ඇති සුවිශේෂිත්වයයි.

කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදුණු සියලු රණවිරුවන් වෙත ‘රාජාලි සංදේශය’ උපහාරයක් වන අතර, යුද්ධයට මැදි වූ සිවිල් වැසියන් විඳි අනේක විද දුක් වේදනා පිළිබඳ ශෝකජනක සිහිගැන්වීමක් ද වේ. ජෙනරල් ගුණරත්නගේ යුද බිමේ අත්දැකීම් සහිත මෙම කාව්‍යමය සාහිත්‍ය වෑයම ඔස්සේ, කවියට අව්‍යාජත්වයක් සහ චිත්තවේගීය ගැඹුරක් ගෙන එන අතරම යුද්ධයේ බිහිසුනු බව සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම සඳහා විරුවන් විසින් කරන ලද දැවැන්ත කැපකිරීම් ද මැනවින් ග්‍රහණය කර ගැනීමට පාඨකයන්ට ඉඩ සලසාලනු ඇත.

ගරුතර මහා සංඝරත්නය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විද්වතුන් සහ කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.