මියන්මාරයේ සයිබර් අපරාධවලට යොදවා මිනිස් ජාවාරමට ගොදුරු වූ 20 දෙනෙකු තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය විසින් බේරා ගැනේ

සැප්තැම්බර් 09, 2024

තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය විසින් දියත් කරන ලද සාර්ථක ගලවා ගැනීමේ මෙහෙයුමක දී මියන්මාරයේ නීති විරෝධී ලෙස සයිබර් අපරාධවල යොදවා සිටි  ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු අපරාධ කණ්ඩායමේ ග්‍රහනයෙන් මුදවා ගන්නා ලදි.

ආරක්‍ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශන අංශය, මිනිස් ජාවාරම පිළිබඳ බිම්ස්ටෙක් උප සමූහය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය, මියන්මාරයේ සහ තායිලන්තයේ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන් රැසක් අතර සිදුකරන ලද සම්බන්ධීකරණ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම මෙහෙයුම සිදුවිය.

මෙම මෙහෙයුම විශේෂයෙන් ඉලක්ක කර ඇත්තේ මාර්ගගත වංචාකාරී ක්‍රියාකාරකම් සඳහා පුද්ගල ජාවාරමේ යෙදී සිටින අපරාධ කණ්ඩායමක් වෙතය. මෙම ගලවා ගැනීමේ මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක කිරීම තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සහ එහි සහයෝගී හවුල්කරුවන්ගේ නොසැලෙන කැපවීම සහ ඉමහත් උත්සාහය පිළිබඳ සාක්‍ෂියකි. මෙම ඒකාබද්ධ මුලපිරීම මගින් දේශීයව සහ ජාත්‍යන්තරව මිනිස් ජාවාරමට එරෙහි අඛණ්ඩ සටනේදී එකමුතුකමේ සහ සහයෝගීතාවයේ කාර්යක්‍ෂමතාවය අවධාරණය කරයි.

මෙම මෙහෙයුමෙන් පසුව, මිනිස් ජාවාරමට ගොදුරු වූවන්ට අත්‍යවශ්‍ය රැකවරණය සහ සහාය ලබා දීම සඳහා පුළුල් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වේ. මෙයට අදාළ ජාත්‍යන්තර සහ ප්‍රාදේශීය ආයතන, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා සහ අධිකාරීන් සමඟ සහයෝගයෙන් මනෝවිද්‍යාත්මක සහාය, සමාජ ප්‍රතිසංවිධානය, නීතිමය සහාය සහ අනෙකුත් අවශ්‍ය සේවාවන් ඇතුළත් වේ.

තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය ආරක්‍ෂක අමාත්‍යාංශයේ සභාපතිත්වය යටතේ ක්‍රියාත්මක වන අතර, මෙම ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ විවිධ හවුල්කරුවන් සහ ජාතික කාර්ය සාධක බලකායේ සියලුම සාමාජිකයින් වෙත ආරක්‍ෂක අමාත්‍යාංශය සිය බලවත් කෘතඥතාව පුද කරයි.