සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිය අභිමානවත් 18 වන සංවත්සරය සමරයි

සැප්තැම්බර් 14, 2024

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කොට වසර 18ක් සපීරීම නිමිත්තෙන් වූ ප්‍රධාන සැමරුම් උත්සවය සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස 13 වන දින කොළඹ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණ.

2006 සැප්තැම්බර් මස 13 වන දින නිකුත් කරන ලද අංක 1462/20 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් අධ්‍යක්‍ෂ ජෙනරාල් වරයෙකු යටතේ නිසි පාලන ක්‍රම වේදයකට අනුව ක්‍රමවත් පුහුණුවක් ‍ලබා දෙමින් සංග්‍රාමික සන්නද්ධ හමුදාවන්ට අනන්‍ය වන පරිදි නිල ඇඳුම් හා ස්වයංක්‍රීය ගිණි අවි පුහුණුවක්ද ලබා දී නව අන්‍යතාවක් සහිතව ආරක්‍ෂක සේවා සපයන ආයතනයක් ලෙස පිහිටුවනු ලැබීය.

සැමරුම් දින උත්සවය සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙත සම්මාන මුරයක් පිළිගැන්වීමෙන් ආරම්භ වූ අතර එහිදී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සභාව අමතමින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ සියලු සාමාජිකයන් විසින් දැක්වූ දායකත්වය අගය කළ අතර, මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදු හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත් සිවිල් ආරක්‍ෂක රණවිරුවන් ද, දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සාමාජිකයින් ද ගෞරවයෙන් සිහිපත් කරන ලදී.

අනතුරුව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදා, පොලිස් හා රාජ්‍ය පරිපාලන සේවයට අනුයුක්තව සේවය කරනු ලබන සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා සෙසු නිලයන් ඇතුළු සාමාජික, සාමාජිකාවන් මෙන්ම සිවිල් සේවකයින් සඳහා නිල දිවා භෝජන සංග්‍රහයක්ද සංවිධානය කොට තිබිණ.