කර්නල් නලින් හේරත් ඉන්දියාවේ බුද්ධගයා-නාලන්දා
විද්වත් සැසියේ දී දේශනයක් පවත්වයි

සැප්තැම්බර් 18, 2024

"The Bodh Gaya-Nalanda Initiative on Shared Values, Shared Culture, and Futures" යන තේමාව ඔස්සේ සැප්තැම්බර් 12 දින සිට 14 දින දක්වා ඉන්දියාවේ දී පැවැති විද්වත් කථිකාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ - මාධ්‍ය සහ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් කර්නල් නලින් හේරත් විසින් එහිදී හරවත් දේශනයක් සිදුකරන ලදි.

The Synergia Foundation, නාලන්දා විශ්වවිද්‍යාලය සමඟ එක්ව, සිද්ධාර්ථ තව්සාණන් බුද්ධත්වයට පත් වූවා යැයි සැලකෙන ඉපැරණි බුද්ධගයා පුදබිම හා බෞද්ධ සංස්කෘතික ඉතිහාසය පිළිබඳ ගෝලීය අධ්‍යයන කේන්ද්‍රයක් මෙන්ම අධ්‍යාත්මික ප්‍රඥාවේ මධ්‍යස්ථානයක් ද වන නාලන්දා විශ්වවිද්‍යාලය යන ඉන්දියාවේ වඩාත්ම සුවිශේෂී ස්ථාන ද්විත්වය කේන්ද්‍ර කර ගනිමින් මෙම කථිකාවත පවත්වනු ලැබීය.

චින්තන නායකයින්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, විෂයානුබද්ධ විද්වතුන් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු ලොව පුරා සම්භාවනීය දේශකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. වර්තමානයේ ශීඝ්‍රයෙන් පරිණාමය වන ලෝකය තුල සංස්කෘතීන්, සාරධර්ම සහ එම සාධකවල අනාගත අන්තර් සම්බන්ධිතභාවය පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කිරීම මෙම සැසියේ ප්‍රධාන අරමුණ විය.

මෙහිදී කර්නල් හේරත් විසින් බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්‍ෂණික හා ආර්ථික සහයෝගීතාව ඇති කිරීමේ අරමුණින් පිහිටුවා ඇති බිම්ස්ටෙක් සංවිධානයේ වත්මන් සහ ඉදිරි අභියෝග පිළිබඳව ද ඒ ඔස්සේ සිදුවන බලපෑම් හා අනාගත පරම්පරාවන් හැඩගස්වා ගැනීම තුලින් මෙන්ම අභියෝග ජය ගැනීම සඳහා වඩාත් සුදුසු ප්‍රවේශයක් නිර්මාණය කිරීම සඳහා කලාපීය රට වල පොදු වටිනාකම් මෙන්ම සංස්කෘතියේ මූලිකාංග උපයෝගී කර ගත හැකි ආකාරය පිළිබඳව කාලෝචිත මාතෘකා කිහිපයක් ඔස්සේ සිය දේශනය පවත්වමින් සිය දැනුම ලබා දුන්නේය.

උක්ත මාතෘකාව පිළිබඳව කරුණු පැහැදිලි කරමින් කර්නල් හේරත් බිම්ස්ටෙක් සංවිධානයේ ධනාත්මක අරමුණු පිළිබඳ විග්‍රහ කල අතරම එම සංවිධානයේ අනාගත මෙහෙයුම් සඳහා සහ ඉදිරියේදී ඇති විය හැකි අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා නව උපාය මාර්ග සකස් කළ යුතු බව ද ප්‍රකාශ කළේය. එමෙන්ම සංවිධානයේ යහපැවැත්ම උදෙසා වන කාලීන අවශ්‍යතාවය වන්නේ සාමාජික රටවල් විසින් අවශ්‍ය සංවර්ධන වේගයන් ලබා ගැනීම සඳහා මුල සිට ආරම්භ කිරීම හෝ මින් පෙර සිදු වූ අතපසුවීම් මඟහරවා ගනිමින් වඩාත් ජවසම්පන්න ප්‍රවේශයන් සමඟ නැවත ආරම්භ කිරීම බවත්, අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නම් රැඩිකල් තීරණ සහ වෙනස්කම් මෙන්ම වඩාත් ඵලදායී ප්‍රවේශයන් අනුගමනය කළ යුතු බවත් කරුණු දක්වමින් පැහැදිලි කළේය. මෙහිදී දේශනය සඳහා පැමිණ සිටි ප්‍රේක්ෂකයින් ඉතා උද්යෝගිව දේශනය හා සම්බන්ධව සිටිනු දැක ගත හැකි විය.

දේශගුණික විපර්යාස වල පටන් සමානාත්මතාවයේ ගෝලීය විෂමතාවයන් දක්වා මානව වර්ගයා මුහුණ දෙන තීරණාත්මක අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා අන්තර්ජාතික වශයෙන් අන්‍යොන්‍ය අවබෝධය සහ සහයෝගීතාවය පවත්වා ගැනීමේ වැදගත්කම මෙම සාකච්ඡා මගින් අවධාරණය කෙරිණි. බෞද්ධ ශිෂ්ඨාචාරය තුල දක්නට ලැබෙන දාර්ශනික සම්ප්‍රදායන් සහ නාලන්දාවේ දක්නට ලැබෙන සංස්කෘතික උරුමයන්, සාකච්ජාව සඳහා මාතෘකා කොට දැක්වීමෙන් ජාතීන් අතර, සාමය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සමෘද්ධිය ලඟා කර ගැනීම සඳහා බුද්ධිමය හා අධ්‍යාත්මික රාමුවක් ලබා දුන්නේය.

බුද්ධගයා පුදබිම හා නාලන්දා විශ්වවිද්‍යාලය එක්ව සිදුකල මෙම මුලපිරීම මගින්, ලොව පුර විසිර සිටින විවිධ ක්ෂේත්‍රවල කීර්තිමත් ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් එක් තැනකට එක්රැස් කරන ලද අතර, ඔවුන් මෙම සැසිය පුරාවටම ඔවුනොවුන්ගේ ගැඹුරු අවබෝධය සහ ප්‍රඥාව හුවමාරු කර ගන්නා ලදි. මෙහිදී දර්ශනය, ඉතිහාසය සහ ජාත්‍යන්තර සබඳතා වැනි විෂයන් පිළිබඳ කීර්තිමත් විද්වතුන් බොහෝ දෙනෙකු ලොව පුර දක්නට ලැබෙන එකිනෙකට වෙනස් ශිෂ්ටාචාරයන් බැඳ තබන සංස්කෘතික හා අධ්‍යාත්මික උරුමයන් පිළිබඳ විවිධ අදහස් දක්වමින් රැස්ව සිටි පිරිස වෙත ගැඹුරු අවබෝධයක් ලබා දුන්හ. එමෙන්ම ගෝලීය නායකයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් වර්තමානයේ පවතින ප්‍රබල භූ දේශපාලන අභියෝග මෙන්ම සාමය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය හවුල් වටිනාකම් වල විභවයන් පිළිබඳව සාකච්ඡා කළ අතර, ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයින් සහ තිරසාර විශේෂඥයින් විසින් ආචාරධාර්මික නායකත්වයේ භූමිකාව ඉස්මතු කරමින් ගෝලීය සංවර්ධනයේ අනාගතය පිළිබඳ ඔවුන්ගේ ඉදිරි දර්ශනවලට දායක විය යුතු ආකාරය පිළිබඳ පැහැදිලි කළේය. බෞද්ධ විද්වතුන් ඇතුළු ආගමික හා අධ්‍යාත්මික සම්ප්‍රදායන්හි චින්තන නායකයින් විසින් වඩා යහපත් ලෝකයක් ගොඩනැංවීමේදී දයාව, ප්‍රඥාව සහ සදාචාරාත්මක වගකීම් වල අවශ්‍යතාවය අවධාරණය කළහ.

බෞද්ධ ශිෂ්ඨාචාරය හා සබැදි සාම්ප්‍රදායික චින්තන රටාව නව්‍යකරණය වූ ආකෘතියක් ඔස්සේ කාලීන අභියෝග සමඟ මුසු කරමින් ඉදිරි දැක්මක් සහිත සංවාදයක් සඳහා නිර්මාණය කිරීමට මෙම බුද්ධගයා-නාලන්දා කථිකාවත විවෘත වේදිකාවක් විය. එය කලාපීය සහ ගෝලීය රටවල් බොහොමයක අන්තර් සහයෝගිතාව සහ එක්ව කැපවීම ඔස්සේ සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීමේදී ජාතීන් අතර පවතින බහුපාර්ශ්වික සංස්කෘතික හා අධ්‍යාත්මික වටිනාකම්වල ශක්තිමත් බැදීම පිළිබඳ ප්‍රබල සාක්ෂියක් ද සපයනු ලබයි. එමෙන්ම මෙම සැසියෙහි සාර්ථකත්වය අන්තර්ජාතික වශයෙන් පොදු ගෝලීය දැක්මක් සාක්ෂාත් කර ගැනීම සඳහා වන වැදගත් පියවරක් ද සනිටුහන් කරයි.