ජාතිකත්වයෙන් සියලුදෙනා සාමුහිකව එක්ව මේ රට ගොඩනඟමු

සැප්තැම්බර් 24, 2024

ජාතිකත්වයෙන් සහ සාමුහිකව සියලුදෙනා එක්ව රට ගොඩනැඟීමට කැප වෙමු යැයි ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,

අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය වන්නේ ජනතාව විසින් පාලකයෙක් තෝරා පත් කර ගැනීමයි. මැතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීමෙන් සහ පාලකයා තෝරා ගැනීමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වුවත් අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ව්‍යුහයන්ගේ ශක්තිමත්භාවය මෙන්ම නීතිවල ශක්තිමත්භාවයක් අවශ්‍ය බව මා පිළිගන්නවා. ඒ නිසා මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මගේ උපරිම කැපවීම මාගේ ධූර කාලය තුළ සිදුකරන බව මා රටේ ජනතාවට ප්‍රතිඥා දෙනවා.

ඒ වගේම මෙරට මැතිවරණයකින් පසුව බල හුවමාරුව ප්‍රජාතන්ත්‍රවාදීව සිදු වූ ඉතිහාසයක් තිබෙනවා. කිසිදු විටෙක මැතිවරණයකදී සිදුවන බල හුවමාරුව කිසිදු නායකයෙක් ප්‍රතික්ෂේප කර නැහැ. ඒ අනුව යමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනවරම සුහදව පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් දැක්වූ එතුමාගේ කැපවීම සහ ආදර්ශයට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම අපට ලැබෙන්නේ ඉතාමත් අභියෝගාත්මක රටක් බව අප ඉතා ගැඹුරින් තේරුම්ගෙන තිබෙනවා. අපේ දේශපාලනයේ මීට වඩා පිරිසිදු, ජනතාව විශාල ලෙස අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය තිබෙනවා. අප ඒ වෙනුවෙන් කැපවීමට සූදානම්. අපේ රටේ දේශපාලකයා සහ දේශපාලනය පිළිබඳව ජනතාවගේ තිබෙන්නේ අයහපත් අදහසක්. ඒ නිසා නැවත දේශපාලනය සහ දේශපාලකයා කෙරෙහි මහජන ගෞරවය සහ විශ්වාසය ඇති කිරීම සඳහා අපගේ පාර්ශ්වයෙන් කළ හැකි සියල්ල ඉටු කිරීමට මා සූදානම්.

ඒ වගේම අප ඉදිරියේ තිබෙන මේ ගැඹුරුතම අර්බුදය හුදු ආණ්ඩුවකට, හුදු දේශපාලන පක්ෂයකට, හුදු පුද්ගලයෙකුට පමණක් පියමන් කළ හැකි දෙයක් කියා අප විශ්වාස කරන්නේ නැහැ. මොකද, මා මීට පෙරත් ප්‍රකාශ කර තිබෙන පරිදි මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. මා මැජික්කරුවෙක් ද නොවේ. මා මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්. හැකියාවන් තිබෙනවා, නොහැකියාවන් තිබෙනවා. දන්නා දේවල් මෙන්ම නොදන්නා දේවල් තිබෙනවා. නමුත් මාගේ ප්‍රමුඛතම කාර්යය හැකියාවන් යොදාගෙන නොදන්නා දේ එක්රැස් කරගෙන වඩා හොඳ තීන්දු තීරණ ගෙන මේ රට මෙහෙයවීමයි. එම සාමුහික මැදිහත්වීමේ කොටස්කරුවකු බවට පත්වීම මගේ වගකීමයි. ඒ වගේම මේ අර්බුදය නිමා කිරීමේ දී පොදු පුරවැසියන්ට සහ සියලු ක්ෂේත්‍රවල අයට විශාල වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටුකිරීම වෙනුවෙන් මා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරනවා.

නමුත් රටේ ජනාධිපතිවරයා ලෙස මෙම කාර්යය මෙහෙයවීමේදී ප්‍රමුඛතම හා ප්‍රධානතම වගකීමක් මා සතුව තිබෙන බව මා පිළිගන්නවා. ඒ නිසා මේ අභියෝගයන් හමුවේ පියමං කිරීම සඳහා මට පැවරී ඇති වැඩකොටස මා නිසි පරිදි ඉටු කරන බව ක්‍රියාවෙන් හා භාවිතාවෙන් සෑම අවස්ථාවකම මේ රටේ පුරවැසියන්ට ඒත්තු ගැන්වීමට මා සූදානම් බව ප්‍රකාශ කරනවා.

ඒ වගේම අප රටට ජාත්‍යන්තර සහාය අවශ්‍යයි. ඒ නිසා ලෝකයේ කවර බල බෙදීම් තිබුණත් රටට වඩාත් වාසි සහගත ලෙස ඒ ඒ රාජ්‍යයන් සමඟ කටයුතු කිරීම අපේ අපේක්ෂාවයි. අප ලෝකයේ හුදෙකලා විය යුතු රාජ්‍යයක් නොවේ. ලෝකයත් සමඟ සාමුහිකව ඒකාබද්ධව ඉදිරියට යා යුතු රාජ්‍යයක්. ඒ පිළිබඳව අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට අප කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ.

එමෙන්ම අප රට ගොඩ නැගීමේදී කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයන්ට විශාල කාර්ය භාරයක් තිබෙනවා. ඒ නිසා ඔවුන් වඩාත් ශක්තිමත්ව රට ගොඩ නැඟීමේ රජයේ ක්‍රියාවලියට සහාය දෙනු ඇතැයි මම සිතනවා.

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විසින් මා ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගෙන තිබෙනවා. ඒ තෝරාපත් කර ගැනීම සඳහා ජනතාව මට ඡන්දය ලබා දී තිබෙනවා. ඒ වගේම මට ලබා නොදුන් ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා අපේ ජයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව අපට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මගේ පාලන කාලය තුළ මට පැවරී තිබෙන කාර්යය වන්නේ අපට සහාය නොදුන්, අපව විශ්වාස නොකරන පුරවැසියන්ගේ සහාය ලබා ගැනීම සහ විශ්වාසය ගොඩනඟා ගැනීමයි. ඒ කාර්යය සාර්ථකව නිම කළ හැකි බවට දැඩි විශ්වාසයක් මා තුළ තිබෙනවා. ඉදිරියේදී මේ සියල්ල ප්‍රායෝගික ලෙස ඔබට අත්දැකීමට හැකි වේවි. ඒ සඳහා සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරනවා.

අනුග්‍රහය - www.pmd.gov.lk