ශ්‍රී ලංකා නාවික හමුදාව විපතට පත් ඉන්දීය ධීවර යාත්‍රාවකට සහාය දක්වයි

සැප්තැම්බර් 25, 2024

යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට ගසාගෙන පැමිණි ඉන්දීය බහුදින ධීවර යාත්‍රාවක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් එහි අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදුකිරීමෙන් අනතුරුව සිය මව්රට බලා යාමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලදි.

යාපනයේ කෝවිලන් ප්‍රදීපාගාරය අසල පාවෙමින් තිබූ මෙම ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව පසුගිය ඉරිදා (සැප් 22) දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරීක්ෂණය කොට ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය වාර්තා කරයි. ඒ අනුව උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් එහි වැඩිදුර පරීක්ෂණ සඳහා කඩිනමින් යෙදවීමට කටයුතු කල අතර, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව එක්ව සිදුකල පරීක්ෂාවේදී ධීවරයන් පස් දෙනෙකු සමඟ ක්‍රියාවිරහිත තත්වයේ පැවති ට්‍රෝලර් යාත්‍රාව සොයා ගනු ලැබිණ. ධීවරයන්ගෙන් අනාවරණය කරගත් කරුණු අනුව ඔවුන් ඉන්දියාවේ කන්නියාකුමාරි සිට විශාකාපට්නම් දක්වා යන අතරමගදී අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ යාන්ත්‍රික දෝෂයක් ඇතිවීම හේතුවෙන් මෙම යාත්‍රාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ගසාගෙන පැමිණීමෙන් පසුව සොයා ගන්නා ලද බව මාධ්‍ය වාර්තාවේ තවදුරටත් දැක්වේ.

මේ පිලිබඳ යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආපදාවට ලක් වූ යාත්‍රාව කන්කසන්තුරේ වරාය වෙත ඇදගෙන ඒමට කටයුතු කල බවත්, උතුරු නාවික විධාන ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් එහි දෝෂ සහිත පද්ධතිය අලුත්වැඩියාවෙන් අනතුරුව පසුගිය සඳුදා (සැප් 23) දින ඉන්දීය ධීවරයන් රැගත් ට්‍රෝලර් යාත්‍රාව ආරක්ෂිතව ජාත්‍යන්තර මුහුදු සිමාව දක්වා රැගෙන යනු ලැබූ බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.