නව ආරක්‍ෂක ලේකම්වරයා ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගනී

සැප්තැම්බර් 30, 2024
  • ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සිය ප්‍රමුඛතම කාර්‍යභාරය බව ප්‍රකාශ කරයි.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) පසුගියදා (සැප්. 28 සෙනසුරාදා) ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගැනීමට මහනුවර දළදා මාලිගාව වෙත ගියේය. එහිදී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් ආරක්‍ෂක ලේකම්වරයා පිළිගනු ලැබූ අතර, ඉන් අනතුරුව ආගමික වතාවත් සඳහා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ඇතුළු පූජනීය වස්තු තැන්පත් කොට ඇති ඇතුළු කුටිය වෙත කැදවාගෙන යන ලදි.

එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා 2024 සැප්තැම්බර් 23 වන දින ආරක්‍ෂක ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු දළදා මාලිගාවට පැමිණි පළමු අවස්ථාව මෙය විය.

ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ඔහු මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තේය.

එහිදී මාධ්‍යවේදීන් විසින් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කලේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවයි. එමෙන්ම, ජාතික ආරක්‍ෂාව අඛණ්ඩව පවත්වාගෙන යාම අපගේ ප්‍රමුඛතම කාර්‍යභාරය බවත්, ඉදිරියේදී ඒ සඳහා ඇතිවිය හැකි අභියෝග හා තර්ජන හඳුනාගෙන ඒවාට කඩිනම් පිළියම් යෙදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

තවද, මහජන සාමය ආරක්‍ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් කැඳවීමේ මහජන ආරක්‍ෂක ආඥාපනත අලුත් කිරීමේ ගැසට් පත්‍රය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, එය රටේත් ජනතාවගේත් ආරක්‍ෂව තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලබන සාමාන්‍ය ගැසට් නිවේදනයක් බවත්, ඇතැම් සමාජ ජාලා හරහා ඊට වෙනත් අර්ථකථනයක් ලබා දී ඇති නමුත්, එය සාමාන්‍ය පරිදි සිදුවන ක්‍රියාවලියක් බවත් ඔහු ප්‍රකාශ කලේය.