මාධ්‍ය නිවේදනයයි

ඔක්තෝම්බර් 04, 2024
  • ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින්ට ලබාදී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතරොම් තාවකාලිකව රජයට භාරගැනීම

සිවිල් පුද්ගලයින් හට ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් ජීවිත ආරක්ෂාව සඳහා ලබාදී ඇති සියළුම ගිනි අවි පිලිබඳව සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව තාවකාලික පදනම මත 1916 අංක 33 දරණ තුවක්කු ආඥා පනතේ 6 (1) හා 6 (2) වගන්ති ප්‍රකාරව ආරක්‍ෂක ලේකම් වෙත පැවරී ඇති බලතල අනුව රජය වෙත භාරගැනීමට තීරණය කර ඇත.

එබැවින්, ගිනි අවි සහ ඒ සඳහා නිකුත්කර ඇති පතරොම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත 2024.11.07 දිනට පෙර භාරදෙන ලෙස සියළුම බලපත්‍රලාභීන් හට දැනුම් දී ඇත. එසේ භාරදීමෙන් පසුව වැලිසර රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව මඟින් නිකුත් කරනු ලබන භාරගැනීමේ කුවිතාන්සියේ පිටපතක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගේට්ටුව අසල ස්ථාපිත කර ඇති ‘සිවිල් ආරක්ෂක හා සංවර්ධන අංශයේ’ ලිපි භාරගැනීමේ කවුළුව වෙත භාරදීමට කටයුතු කරන ලෙසත් දැනුම්දෙනු ලැබේ.

ඒ අනුව, අදාල දිනට පෙර බලපත්‍රලාභීන් විසින් ගිනි අවි භාරදීමට අපොහොසත් වුවහොත් 1916 අංක 33 දරණ තුවක්කු ආඥා පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් දැනුම්දෙනු ලැබේ.

 තවද,දේපල ආරක්‍ෂාව / වගා හානි ආරක්‍ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති ගිනි අවි සඳහා මෙය අදාල ‍නොවන බවත් වැඩිදුරටත් දැනුම් දෙනු ලැබේ.