ආරක්‍ෂක ලේකම් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

ඔක්තෝම්බර් 07, 2024
  •  ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ හිමිකම් කප්පාදු කිරීමට රජයට අදහසක් නැත - ආරක්‍ෂක ලේකම්

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (ඔක් 07) ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

ගුවන් හමුදා මුලස්ථානය වෙත පිවිසි ආරක්‍ෂක ලේකම්වරයා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනමමින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
 
පසුව ආරක්‍ෂක ලේකම්වරයා ගුවන් හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ගුවන් හමුදා මූලස්ථානයේ අංශ කිහිපයක සංචාරයක නිරත විය. ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් එහි විවිධ පියාසර බලඝණ සඳහා වෙන්කර ඇති සම්පත් භාවිතා කරමින් සිදුකරන ලද ගුවන් මෙහෙයුම් පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කරන ලදී.

ආරක්‍ෂක ලේකම් ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා විසින් ගුවන් හමුදා මූලස්ථානයට පැමිණි පළමු නිල සංචාරය මෙය වේ.

ගුවන් හමුදා සාමාජිකයින් අමතමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) ඔවුන්ගේ සේවය අගය කළ අතර, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ හිමිකම් කප්පාදු කිරීමට රජයේ කිසිදු අදහසක් නොමැති බවද පැවසීය.

සිය සංචාරය අවසන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා ගුවන් හමුදාපතිවරයා සමඟ සමරු තිළිණ හුවමාරු කර ගත් අතර, අමුත්තන්ගේ පොතේ සටහනක් තබා ඔවුන් පැසසුමට ලක් කරන ලදි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයට එක් විය.