නාවික ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය “Marines Field Training Exercise
Blue Whale - 2024” ආරම්භ වෙයි

ඔක්තෝම්බර් 08, 2024

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය විසින් තෙවන වරටත් සංවිධානය කරන ලද නාවික ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය “Marines Field Training Exercise Blue Whale 2024,” ත්‍රිකුණාමලයේ සාම්පූර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර හිදී ඔක්තෝබර් 05 දින ආරම්භ විය.

මෙම වසරේදී පාකිස්ථානය, මාලදිවයින සහ බංග්ලාදේශ නාවික හමුදා නියෝජනය කරන සාමාජිකයින් ඇතුළු විදේශීය නාවික පුද්ගලයින් 25 දෙනෙකු මෙම අභ්‍යාසයට එක්වන බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය පවසයි. මීට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයින් 195 ක් සහ ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති, වෙරළබඩ මුර යාත්‍රා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 සහ එම්අයි-17 හෙලිකොප්ටර් යානා ද මෙම අභ්‍යාසට සහභාගී වනු ඇත.

විවිධ ඒකකවල ඒකාබද්ධතාවය වැඩිදියුණු කිරීම, උපක්‍රමිකව මුහුදෙන් භටපිරිස් සහ යුද සැපයුම් ඇතුළු කිරීමේ භූ ජලතරණ අභ්‍යාස පිළිබඳ දැනුම සහ හැකියාවන් හුවමාරු කර ගැනීම සහ නාවික හමුදාව, ගුවන් හමුදාව සහ කලාපීය හවුල්කරුවන් අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීම මෙම අභ්‍යාසයේ අරමුණ බව නාවික හමුදාව පවසයි. මෙම අභ්‍යාසය මගින් පාර්ශවකරුවන් අතර සංග්‍රාමික අත්දැකීම්, නව දැනුම සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමටත්, එකිනෙකාගේ ශක්තීන් හඳුනා ගැනීමටත්, නාවික හමුදා විශේෂ බලකායන්හී සහ අනෙකුත් ඒකකවල කුසලතා වැඩි දියුණු කිරීමටත් අවස්ථාව සැලසේ.

මෙම සමාරම්භක උත්සවය සඳහා නාවික හමුදාවේ ධජ නිලධාරී නාවික දියත් විධානය කොමදෝරු සංජීව පෙරේරා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පාකිස්ථානය, මාලදිවයින, බංග්ලාදේශය නියෝජනය කරමින් නාවික හමුදා සාමාජිකයින් සහ අභ්‍යාසයට සහභාගී වන නාවික හමුදා පුද්ගලයින් සහභාගී වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.