ඇමරිකා එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 19ක් වටිනා
Beechcraft King Air 360ER වර්ගයේ ගුවන් යානයක් ලබා දෙයි

ඔක්තෝම්බර් 11, 2024

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පරිත්‍යාග කරන ලද ඇ.ඩොලර් මිලියන 19ක් වටිනා Beechcraft King Air 360ER වර්ගයේ ගුවන් යානය ඊයේ (ඔක් 10) දින කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. කොළඹ එක්සත් ජනපද තානාපති අතිගරු ජූලි චන්ග් මැතිනිය සහ ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් සාගර කලාප බලඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් Stephen Koehler ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ විසින් ඊයේ පස්වරුවේ එම ස්ථානයට පැමිණි සම්භාවනීය අමුත්තන් පිළිගනු ලැබීය.

එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන හවුල්කරුවන්ගේ හමුදාමය ශක්තීන් ගොඩනැංවීමේ වැඩසටහන යටතේ මෙරටට මෙම ගුවන් යානය ලබාදීම සිදුකරන ලදි. මෙම ගුවන් යානය Synthetic Aperture Radar පද්ධතියක් සහ Advanced Electro-Optical /Infra-red (EO/IR) පද්ධතියක් ඇතුළු සමුද්‍රීය කලාප නිරීක්‍ෂණය කිරීමේ හැකියාවන් සහිත උපකරණ කිහිපයකින් සමන්විත වන අතර, එමගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සමුද්‍රීය නිරීක්‍ෂණ හැකියාවන් තවදුරටත් වර්ධනය කරනු ලබයි.

මෙහිදී නව ගුවන් යානය සාම්ප්‍රදායික ජල ආචාරයක් සමඟින් පිළිගනු ලැබූ අතර, ඉන් අනතුරුව මෙරට අමෙරිකානු තානාපතිනිය, Admiral Koehler සහ ගුවන් හමුදාපති සමඟින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා ද ගුවන් යානය නිරීක්‍ෂණයට එක් විය.
 
මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා, මෙරටට ලැබුණු මෙම වටිනා පරිත්‍යාගය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද රජයට සිය ස්තූතිය පුද කළ අතර, මේ ඔස්සේ අප රටේ සමුද්‍ර ආවේක්‍ෂණ හැකියාවන්, නිරීක්‍ෂණ සහ මුදාගැනීමේ මෙහෙයුම් වැනි මෙහෙයුම් වලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇති බව ද ප්‍රකාශ කලේය.
 
එමෙන්ම, මෙම නවීන ගුවන් යානය ලැබීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා බලඇණියට තවත් එක් යානයක් ලැබීමක් පමණක් නොව, එය අපගේ හමුදාමය හැකියාවන්, අවදානම් අවම කරගැනීම සඳහා වන අපගේ සූදානම මෙන්ම කලාපීය සාමය හා ස්ථාවරත්වය සඳහා වන අපගේ කැපවීම ඉහළ නැංවීමට ද හේතු වන බව ඔහු මෙම අවස්ථාවේ පැවසීය.

මෙම අවස්ථාවට ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන් සහ අනෙකුත් සම්භාවනීය ආරාධිතයින් ද එක්ව සිටියහ.