ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ඔක්තෝම්බර් 11, 2024

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති, අතිගරු Semith Lütfü Turgut මැතිතුමා අද (ඔක්. 11) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

සිය කාර්යාලය වෙත පැමිණි තුර්කි තානාපතිවරයා, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සුහද කතාබහක ද නිරත විය.

මෙහිදී රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, දෙරට අතර දැනට පවතින ආරක්‍ෂක සහයෝගීතාව සහ එම සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඇති අවස්ථා සොයා බැලීම ආදී වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය. එමෙන්ම රාජ්‍යතාන්ත්‍රික සබඳතා අඛණ්ඩව පවත්වා ගනිමින් ආරක්‍ෂක කටයුතුවලදී අන්‍යොන්‍ය අවබෝධය වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.

සාකච්ඡාව අවසානයේ මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණ. ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද මෙම අවස්ථාවට සහභාගි විය.