'The Bali Process' වැඩමුලුව කොළඹදී

ඔක්තෝම්බර් 11, 2024

අතරමන් වූ සංක්‍රමණිකයන් ආපසු ගෙන්වාගැනීම සහ ඔවුන් නැවත සමාජගත කිරීමේ සේවාවන් පිළිබඳව අවධානය යොමු කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ වැඩමුලුව (The Bali Process) පසුගිය ඔක්තෝබර් මස 10 සහ 11 දිනවල කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්විණි. Bali Process Return and Reintegration Services (BP AVRR) හි පුර්ණ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිව සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) හා තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය එක්ව මෙම සාමුහික ප්‍රයත්නය සංවිධානය කොට තිබිණී. ආරක්‍ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් ජාතික බුද්ධි ප්‍රධානී මෙන්ම තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකා නිලධාරීන්ගේ කමිටුවේ ප්‍රධානි ඊට සහභාගී වූ අතර මිනිස් වෙළෙදාම මැඩලීමේ සහ ඉන් බලපෑමට ලක් වූ පුද්ගලයින්ට සහය වීමේ සහයෝගී ප්‍රයත්නවල වැදගත්කම අවධාරණය කරමින් ආරම්භක අදහස් දැක්වීම ඔහු විසින් සිදු කරනු ලැබිය.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව ආශ්‍රිත කලාපයේ මෑත කාලීන මිනිස් වෙළෙදාමේ ප්‍රවණතා පිලිබඳ සුවිශේෂී අවධානයක් යොමු කරන ලද අතර, බලහත්කාරයෙන් සිදු කරනු ලබන අපරාධ හා සයිබර් අපරාධ හා සබැඳි මිනිස් වෙළෙදාම් වල සිදු වී ඇති වර්ධනය, අතරමන් වූ සංක්‍රමණිකයන් සංඛ්‍යාව ඉහළ යාම සහ දැනට හඳුනාගෙන ඇති විවිධ මිනිස් වෙළෙදාම් කටයුතු ඔස්සේ වින්දිතභාවයට ලක්වුවන් සඳහා ඵලදායී අන්දමින් ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාවය ආදී වැදගත් තේමාවන් කිහිපයක් ඔස්සේ කරුණු ඉස්මතු කොට සාකච්ඡා සිදු කොට ඇත.

එමෙන්ම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණු වූයේ නීතිවිරෝධී මිනිස් වෙළෙදාම් වලට ලක් වූ වින්දිතයින් ගලවා ගැනීම, පරීක්‍ෂා කිරීම සහ ක්‍ෂණික ආධාර මෙන්ම මුදවා ගත් අය සඳහා අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයන් හඳුනාගැනීම සහ වැඩි දියුණු කිරීමයි. මේ වනවිට අග්නිදිග ආසියාව පුරා සිදුවෙමින් පවතින බලහත්කාරයෙන් සයිබර් අපරාධ වල යෙදවීමට හා මිනිස් වෙලෙදාමට එරෙහිව සටන් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලැබූ අතර, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග, අතරමන් වූවන් ආපසු ගෙන්වාගැනීම සහ ඔවුන් නැවත සමාජගත කිරීමේ සේවාවන් පිළිබඳව ද සාකච්ඡාවට සහභාගි වූවන් විසින් අදහස් දක්වනු ලැබීය.

කාම්බෝජය, මියන්මාරය සහ තායිලන්තයේ විෂය සම්බන්ධයෙන් වන නියෝජිතයින්, තැනැත්තන් වෙළෙදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපතිත්වය දරණු ලබන ආරක්‍ෂක අමාත්‍යාංශය සහ එම බලකායේ සාමාජිකත්වය දරණු ලබන විදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ආදී නියෝජිත ආයතන වල නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වන ලදි.