අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා
ත්‍රිවිධ හමුදා සහාය අඛණ්ඩව

ඔක්තෝම්බර් 13, 2024

මේ දින වල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ ගංවතුර සහ නාය යාම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා මෙන්ම, සහන සේවා කටයුතු කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබා දීම සඳහා ත්‍රිවිධ හමුදා සහන සේවා කණ්ඩායම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ උපදෙස් පරිදි ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු අඛණ්ඩව සිදු කරනු ලබයි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් ආපදාවට පත් සියලු දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් සම්බන්ධීකරණය කරගනිමින් අවශ්‍ය සහන සේවා කඩිනමින් සැලසීමට කටයුතු යොදා ඇත.

දැනට ලැබී ඇති දත්ත අනුව, අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා පවුල් 6,018ක පුද්ගලයන් 24,492ක් විපතට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

එම අවතැන් වූ පිරිස් වෙත සහන සැලසීමේ අරමුණින් ආපදා සහන මධ්‍යස්ථාන 23ක් මේ වනවිට ක්‍රියාත්මක වන අතර, එම මධ්‍යස්ථාන වල පවුල් 584කට අයත් පුද්ගලයන් 2,200ක් ආරක්‍ෂිතව රඳවාගෙන තිබේ. එම මධ්‍යස්ථාන වල ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සැලසීමට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මේවන විටත් අනුයුක්ත කොට ඇති අතර, අවතැන් වූ පිරිස් මුදා ගැනීම සඳහා නාවික හමුදාවේ බෝට්ටු යුද හමුදා සන්නද්ධ රථ මෙන්ම, ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා ද අවශ්‍ය පරිදි සූදානම් කොට ඇත.

එමෙන්ම, හදිසි ආපදා තත්වයන් පිළිබඳ තොරතුරු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් මැදිරිය හෝ 0112136136, 0112136222, 0112670002 දුරකථන අංක ඇමතීමෙන් දැනුම් දිය හැකි බව ද ජනතාව වෙත දැනුම් දී සිටී.