ගංවතුරෙන් ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමේ
ත්‍රිවිධ හමුදා මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට

ඔක්තෝම්බර් 15, 2024

දිවයිනටම බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා මුදා ගැනීමේ සහ සහන සැලසීමේ කණ්ඩායම් දිවා රෑ නොතකා අඛණ්ඩව ක්‍රියා කරමින් සිටී. පසුගිය දින වල ඇති වූ අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ගංවතුර සහ සුළු නායයෑම් බලපෑම් ඇති වීම හේතුවෙන් ඇතැම් ස්ථානවල ජනතාවට සිය වාසස්ථාන වලින් තාවකාලිකව ඉවත් වීමටද සිදුවිය. ත්‍රිවිධ හමුදාවේ සහන කණ්ඩායම්, ආපදා කළමනාකරණය හා ඊට අදාල රාජ්‍ය ආයතන වල නිලධාරීන් සමග එක්ව එලෙස ආපදාවට ලක් වූ පුද්ගලයන් ඉන් මුදා ගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් සැලසීමටත් කටයුතු කරමින් පවතී. 

මල්වාන, කටුගොඩ, වටරැක, සීතාවක, මීතොටමුල්ල, කොලොන්නාව, නවගමුව, පැලවත්ත හා යටදොලවත්ත යන ප්‍රදේශ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහන කණ්ඩායම් සහ ගංවතුර සහන සේවා යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි. මේ සඳහා යුධ හමුදාව විසින් යුනිබෆල් හමුදා ට්‍රක් රථ මෙන්ම, බෝට්ටු ද අවශ්‍ය පරිදි යොදවා ඇත.

මීට අමතරව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වල හදිසි ආපදා අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා යුද හමුදාව විසින් WMZ සන්නද්ධ රථ 23 ක්, යුනිබෆල් සහ යුනිකෝන් රථ 34 ක් මෙන්ම බෝට්ටු 56 ක් සූදානම් කර ඇති අතර, ඒ සමඟින් හමුදා සාමාජිකයින් 6,500 ක් ද සූදානම් කර ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගම්පහ, කොළඹ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වල ගංවතුර ආපදා මෙහෙයුම් සඳහා සහන කණ්ඩායම් අටක් යොදවා ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි. කඩුවෙල, මාබිම, නවගමුව, ඉහළගම, ජා-ඇල සහ නාත්තන්ඩිය යන ප්‍රදේශ වල ගංවතුර සහන සේවා කටයුතු සඳහා මේවන විටත් නාවික හමුදා සාමාජිකයින් යොදවා ඇති බවද, අවශ්‍ය විටෙක ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා අමතර සහන කණ්ඩායම් 48ක් බස්නාහිර, දකුණ සහ වයඹ නාවික හමුදා විධානයන් හි ස්ථානගත කොට ඇති බව ද, එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ආපදාවන්ගෙන් බලපෑමට ලක් වූ සියලුම දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් සමඟ සහයෝගයෙන් සහන සේවා සම්බන්ධීකරණය කරයි.

විපතට පත් ජනතාව මුදා ගැනීමෙන් අනතුරුව ඔවුන් දැනට රජය මගින් ක්‍රියාත්මක සුරක්‍ෂිත මධ්‍යස්ථාන හෝ වෙනත් ආරක්‍ෂිත ස්ථාන කරා ළඟා වීමට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහාය වෙමින් සිටින අතර, අවශ්‍ය පරිදි ඔවුන් වෙත පිසූ ආහාර සහ වියළි ආහාර මෙන්ම, අනෙකුත් අවශ්‍ය මුලික පහසුකම් ද, සැපයීමට කටයුතු යොදා ඇත.