ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ඔක්තෝම්බර් 16, 2024

කොළඹ ඇමරිකා එක්සත් ජනපද තානාපති අතිගරු Julie Chung මැතිණිය අද (ඔක්. 16) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලයට පැමිණි ඇමරිකානු තානාපතිවරිය උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශ්වයේ නියෝජිතයන් සුහද කතාබහක ද නිරත විය. එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට අදාළව කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය. පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නව ගුවන් යානයක් පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඇමෙරිකානු රජය සහ මෙරට ඇමරිකානු තානාපතිවරිය වෙත සිය කෘතඥතාව පළ කළ ආරක්‍ෂක ලේකම්වරයා ඉදිරියේදීත් ඇමරිකානු රජය සහ තානාපති කාර්යාලය සමඟ සමීපව කටයුතු කිරීමට තමා අපේක්‍ෂා කරන බවද ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද, සිදු කෙරිණ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා, ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කර්නල් Anthony Nelson සහ ඇමරිකානු ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානී කමාන්ඩර් Sean Jin ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.