ශ්‍රී ලංකා නාවික හමුදා 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනයේ
යුධ ප්‍රවීණයන් ඇගයීමට ලක් කෙරේ

ඔක්තෝම්බර් 21, 2024

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනය විසින් එම බලඝනයට අනුයුක්තව සේවය කර දැනට විශ්‍රාමික යුධ ප්‍රවීණයන් පිරිසක් වෙනුවෙන් උපහාර උත්සවයක් සංවිධානය කර තිබිණ. නාවික හමුදා මාධ්‍ය අංශයේ වාර්තාවට අනුව, ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ පිහිටි 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනයේ යුධ ස්මාරකය අසල පසුගිය සෙනසුරාදා (ඔක්.19) දින පවත්වනු ලැබූ සැමරුම් උත්සවයේදී මානුෂීය ක්‍රියාන්විතයේදී තුවාල ලැබූ එම බලඝනයේ යුධ ප්‍රවීණයන් වෙනුවෙන් උපහාර දක්වන ලදි. නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනය විසින් උතුරු හා නැගෙනහිර සමුද්‍ර කලාපවල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරමින් නිර්භීත මෙහෙයුම් රාශියක් සිදුකරනු ලැබීය. ක්‍රියාන්විත රාජකාරී අතරතුර ඇති වූ විවිධ ආබාධිත තත්ත්වයන් හේතුවෙන් රාජකාරිවලින් විශ්‍රාම ගැන්වූ එක් නිලධාරියෙකු සහ නාවිකයින් 41 දෙනෙකු වෙනුවෙන් ඔවුන් විසින් සිදුකල අනර්ඝ සේවය හා කැපකිරීම් ඇගයීමට ලක්කිරීමේ අරමුණින් මෙම සැමරුම් උත්සවය සංවිධානය කොට තිබූ බවද, මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම 'අද්මිරාල් වසන්ත කරන්නාගොඩ' ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී, ප්‍රවීණයන් හට දැනට එම බලඝනයේ සේවයේ නියුතු තරුණ නිලධාරීන් සහ නාවිකයින් සමඟ ඔවුන්ගේ යුද කාලීන අත්දැකීම් සහ දැනුම බෙදා ගැනීමට ද අවස්ථාව සලසා තිබිණ.
 
මෙම අවස්ථාවට නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස්, නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයින් මෙන්ම 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනයේ සාමාජිකයන් රැසක් ද එක්ව සිටි බව මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.