මිනුවන්ගොඩ මුලික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය සඳහා නාවික හමුදාව විසින් වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපනය කරයි

ඔක්තෝම්බර් 22, 2024

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මිනුවන්ගොඩ මූලික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය සඳහා ස්ථාපිත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු යන්ත්‍රය පසුගියදා (ඔක්. 21) විවෘත කොට ජනතා අයිතියට පත් කරන ලදි. නාවික හමුදා මාධ්‍ය අංශයේ වාර්තාවට අනුව මෙය නාවික හමුදා සමාජිය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කොට ස්ථාපනය කරන ලද 30 වන වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු යන්ත්‍රය වේ.

නාවික හමුදාව විසින් වකුගඩු රෝග ආශ්‍රිත ප්‍රතිකාර සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු යන්ත්‍ර සංවර්ධනය කිරීමේ කටයුතු 2017 වසරේ දි ආරම්භ කරන ලදි. එහි තවත් එක් අදියරක් ලෙස මිනුවන්ගොඩ මුලික රෝහලේ ස්ථාපනය කරන ලද මෙම ජල පිරිපහදු යන්ත්‍රයෙන් එකවර වකුගඩු රෝගීන් 15 දෙනෙකු වෙනුවෙන් රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහා අවශ්‍ය පහසුකම් ලබාදිය හැකි බව මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මෙරට ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා පිරිසිදු ජලය ලබාදීමේ අරමුණින්, 2015 වසරේ දී පළමු ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු යන්ත්‍රය මැදවච්චිය කඩවත් රඹෑව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ විය. අද වන විට එවැනි ඒකක දහසකට වැඩි සංඛ්‍යාවක් සාර්ථකව නිෂ්පාදනය කොට ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු යොදා ඇත. තවද මෙම වසරේ (2024) ජුනි මාසයේදී ගල්ගමුව පලුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේ 1000 වැනි ජලපිරිපහදු ඒකකය සාර්ථකව ස්ථාපනය කරමින් මෙම දැවැන්ත ව්‍යාපෘතිය වැදගත් සන්ධිස්ථානයක් වෙත ළඟා විය.

දිවයින පුරා ක්‍රියාත්මක මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු යන්ත්‍ර පිහිටුවීමේ ව්‍යාපෘතිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ පුර්ණ අධීක්‍ෂණය හා මඟපෙන්විම යටතේ ක්‍රියාත්මක වේ.