ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් ආරක්ෂක නවෝත්පාදන හා එමගින්
ජාතික ආරක්ෂාව කෙරෙහි ඇති දායකත්වය පිළිබඳ කාලින දේශනයක් පවත්වයි
ඔක්තෝම්බර් 24, 2024
ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් "Military Innovations and Its Contributions to National Security" යන කාලීන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ දේශනයක් අද (ඔක්. 24) දින ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ “නන්දිමිත්ර" ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී මහාචාර්ය අජිත් ද අල්විස් මහතා මෙම උත්සවයේ ආරාධිත කථිකයා ලෙස සහභාගී විය. ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) නියෝජනය කරමින් ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික) මෙම අවස්ථාවට සහභාගි විය.
ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් සහ වැඩබලන අධ්යක්ෂ (පර්යේෂණ) කර්නල් නලින් හේරත් විසින් එහි ආරම්භය සනිටුහන් කරමින් ආරාධිත කථිකයා සහ මෙම දේශනයේ අරමුණු පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදුකරන ලදි.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛතම අධ්‍යයන ආයතනය වන, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් ආරක්ෂක නවෝත්පාදනයේ වැදගත්කම සහ එහි දායකත්වය අවබෝධ කරගනිමින්, විශේෂයෙන්ම ආරක්ෂාව හා සම්බන්ධ වන හා නොවන නවෝත්පාදන පිලිබඳ මෙන්ම ඒ ඔස්සේ ශක්තිමත් සබඳතාවයක් ගොඩනැගීම සඳහා ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ තීරණාත්මක කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් මෙම දේශනය සංවිධානය කරන ලදි. නවෝත්පාදන පදනම් කරගත් ඉගෙනුම් සංකල්පය පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම, ඒ සඳහා රටක් වශයෙන් ගත යුතු පියවර, විසඳුම් සහ පිළියම්වල අවශ්‍යතාවය ඉස්මතු කිරීම මෙන්ම නවෝත්පාදනයේ පූර්ණ විභවය පිළිබඳ යම් අවබෝධයක් ලබාදිමට මෙම දේශනයේ අරමුණු විය.
එහිදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ද අල්විස් මහතා විසින් සාකච්ඡාවේ කේන්ද්‍රීය තේමාවන් පිළිබඳව සවිස්තරාත්මක හා අවබෝධාත්මක දේශනයක් සිදුකරමින් අප ඉදිරියේ ආර්ථික යුද්ධය නම් වූ තවත් යුද්ධයක් ඇතිබව ප්‍රකාශ කරන ලද අතර නවෝත්පාදනයේ අවශ්‍යතාවය පිලිබඳ මෙහිදී අවධාරණය කළේය. අධ්‍යාපනය, කර්මාන්ත සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය අතර සහයෝගීතාවය පෝෂණය කරමින් නවෝත්පාදන හැසිරවිය යුත්තේ කෙසේදැයි සාකච්ඡා කළ ඔහු, වඩා ශක්තිමත් නවෝත්පාදන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද අවධාරණය කළේය.
කිසියම් ජාතියක සංවර්ධන ක්‍රියාවලිය හැඩගැස්වීමේදී දැනුමෙන් ලබාගන්නා පරිපුර්ණභාවය, සමකාලීන චින්තනය, නවෝත්පාදන, විද්‍යාව සහ තාක්ෂණය යන අංගයන්හි තීරණාත්මක කාර්යභාරය පිලිබඳවද මහාචාර්ය අල්විස් මහතා සිය දේශනයේදී අවධාරණය කළේය. එකී සාධක සම්බන්ධයෙන් විස්තර කිරීමේදී ඊශ්‍රායලය, ජපානය සහ දකුණු කොරියාව වැනි ලෝකයේ ප්රමුඛ ආර්ථික සංවර්ධනයක් සහිත රටවල් කිහිපයක් උදාහරණ ලෙස ගෙන මෙම ක්ෂේත්රවල දියුණුව ඔවුන්ගේ වේගවත් සංවර්ධනයට සහ ගෝලීය තරඟකාරිත්වයට සැලකිය යුතු ලෙස දායක වී ඇති ආකාරය පිළිබඳව පැහැදිලි කළේය.
තවද ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පරිපුර්ණ ප්‍රවේශයක අවශ්‍යතාව ඉස්මතු කරමින් සන්නද්ධ හමුදා, සිවිල් ආයතන, ආර්ථික, සමාජ, ඩිජිටල් සහ මනෝවිද්‍යාත්මක යන අංශ හා සබැඳි නවෝත්පාදන වල වැදගත්කම කෙරෙහි ද අවධානය යොමු කළේය. මෙම අනු කොටස් සියල්ල ආමන්ත්‍රණය වන පරිදි ජාතියක් වශයෙන් නුතන තාක්ෂණික අභියෝග හමුවේ ඔරොත්තු දීමේ හැකියාව සහතික කරමින් සියලුම ක්ෂේත්‍ර ශක්තිමත් වන පරිදි නවෝත්පාදන සිදු කිරීමේ වැදගත්කම ද මහාචාර්ය ද අල්විස් මහතා විසින් අවධාරණය කළේය.
දේශනය අවසානයේ පැවැත්වුණු ප්‍රශ්නෝත්තර සැසියේදී රැස්ව සිටි පිරිසට ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ අවස්ථාව සැලසුණු අතර එම ප්‍රශ්න වලට ආරාධිත කථිකයා විසින් පිළිතුරු ලබා දීමද සිදු විය. දේශනය අවසානයේ කර්නල් හේරත් විසින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ද අල්විස් මහතා වෙත ඔහු දැක්වූ අගනා සහයෝගය වෙනුවෙන් කෘතඥතාව දැක්වීම සඳහා සමරු තිළිණයක් පිරිනැමීය.
21 වන ශතවර්ෂයේ නවෝත්පාදනයන් ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සඳහා තීරණාත්මක වී තිබේ. ශාෂ්ත්රීය කෂේත්රයේ දියුණු මට්ටමකට පැමිණියද පර්යේෂණ පැවැත්වීම සහ ඒවයේ ප්‍රායෝගික ප්‍රතිඵල ලබා ගැනීම අභියෝගයක් විය. කෙසේ වෙතත්, ජාතික මට්ටමේ සාර්ථකත්වය සඳහා පර්යේෂණ හා සංවර්ධනය ඉතා වැදගත් වූ අතර අභියෝගවලට මුහුණ දීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම යන දෙකම ආර්ථික වර්ධනය මෙහෙයවීමට උපකාරී විය. 2019 අංක 22 දරන පාර්ලිමේන්තු පනත මගින් පිහිටුවන ලද ජාතික නවෝත්පාදන නියෝජිතායතනය, ජාතික නවෝත්පාදන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යාම සඳහා අමාත්‍යාංශ, ආයතන සහ පුද්ගලික අංශය සම්බන්ධීකරණය කිරීම වැනි අරමුණුවලින් යුතුව නවෝත්පාදනවලට සහාය වීම සඳහා කටයුතු කරයි.මෙම නියෝජිතායතනයේ අරමුණු වනුයේ සමාජ, විද්‍යාත්මක, තාක්ෂණික සහ ආරක්ෂක නවෝත්පාදනයන් සහ ඒවායේ ආර්ථික බලපෑම පිළිබඳ අවබෝධය ප්‍රවර්ධනය කිරීමයි. ආර්ථික ඉලක්ක සමඟ ජාතික පර්යේෂණ පෙළගැස්වීම, නවෝත්පාදන සඳහා වන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බාධාවන් ආමන්ත්‍රණය කිරීම සහ විශේෂයෙන් පෞද්ගලික අංශයේ නවෝත්පාදන අංශය පෝෂණය කිරීම ද මෙහි අරමුණ විය.
මෙම අවස්ථාවට රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ව්‍යවසායකයින්, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ නිලධාරීන්, පර්යේෂකයින්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.