යුධ හමුදා මූලිකත්වයෙන් උතුරේ රෝගීන් සඳහා නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 2000ක්

ඔක්තෝම්බර් 29, 2024

යාපනය ශික්‍ෂණ රෝහලේ අක්‍ෂි අංශය, යුධ හමුදා මුලික රෝහල - පලාලි සමඟ එක්ව 2024 ඔක්තොම්බර් 14 සිට 25 දක්වා යාපනය ශික්‍ෂණ රෝහලේදී ඇසේ සුද ඉවත් කිරීමේ සුවිශේෂී සැත්කම් වැඩසටහනක් සාර්ථකව සිදුකරන ලදි.

යුධ හමුදා මාධ්‍යවලට අනුව, වෛද්‍ය එම්. මලරාවන් ප්‍රමුඛ විශේෂඥ අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම කාර්යය සිදුකර ඇති  අතර, ඔවුන් විසින් උතුරු පළාතේ දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 2,000 කට අධික ප්‍රමාණයක් නොමිලේ සිදුකරන ලදි.

මෙම වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්, යාපනය ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ, යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ හා ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලයින් පිරිසක් ද සහභාගි වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.