ඕස්ට්‍රේලියානු රජය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද Beechcraft King Air 350 ගුවන්යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාර දෙයි

ඔක්තෝම්බර් 30, 2024

ඕස්ට්‍රේලියානු රජය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද Beechcraft King Air 350 ගුවන්යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාරදීමට අදාල ලිපි ලේඛනවලට අත්සන් තැබීම පසුගිය අඟහරුවාදා (ඔක් 29) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදි.

එහිදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් ගුවන් යානය භාර ගැනීම සඳහා වන ලියකියවිලිවලට අත්සන් කළ බව ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරයි. කලාපීය සැකසුම් සහකාර ලේකම් Shan Strugnell මහත්මියගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු දූත පිරිසට කලාපීය සැකසුම් කාර්ය සාධක බලකායේ අධ්‍යක්‍ෂිකා Jodie Lewis මහත්මිය මෙන්ම පළමු ලේකම් සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ සම්බන්ධීකාරක Lalitha Kapur මහත්මිය ඇතුළත් විය.

ඕස්ට්‍රේලියානු රජය විසින් සිදු කල මෙම පරිත්‍යාගය, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ආරක්‍ෂක සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමක් ලෙස සැලකිය හැකිය. දෙරට අතර දිගුකාලින ශක්තිමත් සබඳතාවක් පවත්වාගෙන යනු ලබන අතර මෙම නවතම ගුවන්යානය ලබාදීම මගින් කලාපීය ආරක්‍ෂාව සහ ස්ථාවරත්වය පවත්වාගැනීම සඳහා වන ඔවුන්ගේ කැපවීම අවධාරණය කරයි.

මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Amanda Johnston, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් මෙන්ම ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.