ආගමික සිද්ධස්ථානවලට අනුයුක්තව සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන්
ඉවත්කර ගැනීමට කිසිදු තීරණයක් ගෙන නොමැත

නොවැම්බර් 03, 2024

දිවයින පුරා පිහිටි බෞද්ධ වෙහෙර විහාර ඇතුළු ආගමික සිද්ධස්ථාන වල ආරක්‍ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අනුයුක්ත කොට ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඉවත්කර ගැනීමට රජය තීරණය කොට ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලා වල පැතිර යන අසත්‍ය ප්‍රවෘත්ති සම්බන්ධයෙන් අද (නොවැ.03) දින ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී විශේෂ මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කර සිටී.

තවද, දැනට බෞද්ධ පන්සල් හෝ වෙනත් පූජනීය ස්ථානවල ආරක්‍ෂක රාජකාරි සඳහා අනුයුක්ත කර සිටින සන්නද්ධ හමුදා සාමාජිකයින් ඉවත් කිරීමට රජය විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද, මෙහිදී අවධාරණය කරන ලදී.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත්ගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක, මේජර් ජෙනරල් රසික කුමාර සහ සිවිල් ආරක්‍ෂක බලකායේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ - ව්‍යාපෘති, කර්නල් දුමිල් පතිරණ යන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණ.