සම්පූර්ණ සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 520 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගියහ

දෙසැම්බර් 29, 2020

අද (දෙසැම්බර් 29) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 549 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 41,602 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.  

ඊයේ හඳුනාගත්  ආසාදිතයින් අතරින් 19 දෙනෙකු විදේශ රටක සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 237 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 124 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 44 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 125 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 29) දින ප්‍රකාශ කරන ලදී.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 37,868 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 30,463 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (28) දින තවත් PCR පරීක්ෂණ 12,236 ක් සිදුකර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 108 ක් වන අතර ඒ අතුරින් 13 දෙනෙකු අබුඩාබි සිට ද, 83 දෙනෙකු කටාර් සිට සහ 12 දෙනෙකු මාලදිවයිනේ සිට පැමිණ ඇත. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 520 කි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 33,220 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 8,188 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 74 ක් යටතේ පුද්ගලයින් 5,855 ක් නිරෝධායනය කරනු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 3 ක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළ ගොස් තිබේ.