‘අපගේ ප්‍රමුඛතාවය හුදෙක් ආපදාවලට ප්‍රතිචාර දැක්වීමෙන් ඔබ්බට ගොස් සැබෑ ඔරොත්තු දීමේ හැකියාව පෝෂණය කිරීමයි’ - ආරක්‍ෂක ලේකම්

නොවැම්බර් 04, 2024
  • ආපදා කළමනාකරණය සඳහා ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම් දක්වා වූ පුළුල් මෙන්ම, මනාව සම්බන්ධීකරණය වූ ප්‍රතිචාරයක් අවශ්‍ය වේ.

“අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රජය හුදෙක් ආපදාවලට ප්‍රතිචාර දැක්වීමෙන් ඔබ්බට ගොස් පෙර සුදානමක් සහිතව ආපදා සඳහා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ආරක්‍ෂක අමාත්‍යාංශය, පශ්චාත් ආපදා තත්වයන්හීදි තම අතිශය තීරණාත්මක භූමිකාව තුල ක්‍රියාත්මක වෙමින් තමන් වෙත පැවරෙන කාර්යභාරය සිදුකරනු ලබන අතරම දරිද්‍රතාවය අවම කිරීම සහ ප්‍රජා සවිබල ගැන්වීම අවධාරණය කරමින් ජනතාවට ආපදාවන් හමුවේ මෙන්ම, ඉන් පසුව ද ඒ සඳහා ශක්තිමත්ව මුහුණදීමට ඇති හැකියාව ඉහල නැංවීමට කටයුතු කරනු ලබයි.”

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (නොවැ 04) දින කොළඹ, ගාලු මුවදොර හෝටලයේ පැවති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ජාතික සම්මන්ත්‍රණය - 2024 හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් මෙම අදහස් ප්‍රකාශ කළේය.
 
තවද, ආපදා හේතුවෙන් ඇතිවන හානි අවම කර ගැනීම සඳහා ඒ පිළිබඳ සියුම් විශ්ලේෂණයක් සිදුකොට ලබාගන්නා නිගමනයන් ඔස්සේ අවශ්‍ය පරිදි දිගුකාලීන සැලසුම් සකස් කිරීම සහ ඒ වෙනුවෙන් පවත්වා ගනු ලබන අඛණ්ඩ වුත් තිරසාර වුත් උත්සාහයක් ද අවශ්‍ය වේ. මෙම වැළැක්වීමේ හා පෙර සූදානම ඇති කිරීමේ ක්‍රියාවලියේදී ත්‍රිවිධ හමුදාව විසින් සිදුකරන මැදිහත්වීම් මෙන්ම, සිවිල් ආයතනවලින් දක්වනු ලබන පූර්ණ සහයෝගය ද අත්‍යවශ්‍ය සාධකයක් බව ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

‘Reflections on Two Decades from Tragedy to Resilience: Retrospect of the 2004 Indian Ocean Tsunami’ යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පවත්වන ලදි. ඉදිරියේදී ඇතිවිය හැකි සුනාමි තත්වයකට වුවද සාර්ථකව මුහුණ දිය හැකි පෙර සුදානමක් සහිත රටක් දක්වා අප රට පත් කර ගැනීමට අවශ්‍ය කෙරෙන සැලැසුම් පිළිබඳ මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කරන ලද අතර, එම විෂයානුබද්ධව විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමට සහ ඊට අදාළ නවෝත්පාදන සිදුකිරීම වැනි කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සඳහා මේ ඔස්සේ වේදිකාවක් සපයනු ලැබීය.

සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශකයා වූ මහාචාර්ය ප්‍රියාන් ඩයස් විසින් ශ්‍රී ලංකාවේ සුනාමි තත්වයන්ට මුහුණදීමට ඇති හැකියාව, එවැනි තත්වයකදී සිදුවිය හැකි බලපෑම අවම කිරීමට කටයුතු කිරීම, ආපදා කළමනාකරණය ආදී සුවිශේෂී මාතෘකා කිහිපයක් ඔස්සේ සිය දේශනය සිදුකරනු ලැබිය. තවද, සම්මන්ත්‍රණය පුරාවටම දක්නට ලැබුණු විචක්ෂණශීලී සංවාද ඔස්සේ ඊට නව හරයක් එක් කළ අතර, රැස්ව සිටි ප්‍රේක්‍ෂකයන්ගෙන් මෙම විෂයට අදාලව නව්‍ය විසඳුම් සංවර්ධනය කිරීමටද, ඉමහත් දායකත්වයක් ලබා දුන්නේය.

ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩ බලන පොලිස්පති, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන්, මානුෂීය මෙහෙයුම් සඳහා ක්‍රියාකාරී දෙස් විදෙස් නියෝජිත ආයතනවල නියෝජිතයින් මෙන්ම, දෙස් විදෙස් පාර්ශ්වකාර ආයතනවල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.