වැසි සහිත කාලගුණය තවදුරටත්
නොවැම්බර් 06, 2024• ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (නොවැ 06) දින උදෑසන නිකුත් කරන ලද නවතම කාලගුණ වාර්තාවට අනුව දිවයිනේ ප්‍රදේශවල බලපා ඇති වැසි සහිත කාලගුණය තවදුරටත් පවතිනු ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ එම නිවේදනයට අනුව දිවයිනේ මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද, එහි දැක්වේ.
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැලියගොඩ සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට දෙවන මට්ටමේ (ඇම්බර්) නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, දෙහිඕවිට, යටියන්තොට, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, වරකාපොල, දැරණියගල, අරණායක සහ ගලිගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ද, මෙම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයට ඇතුළත් වේ.
බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශයන් වෙත පළමු වන මට්ටමේ (කහ) නායයෑම් අනතුරු ඇඟවීම් ද, නිකුත් කර ඇත.
තවද, කොළඹ සිට ගාල්ල දක්වා සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද වැසි ඇති විය හැකි බවද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.