නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙහි වත්මන් ප්‍රගතිය
ආරක්ෂක ලේකම්වරයාගේ නිරීක්ෂණයට
නොවැම්බර් 10, 2024
අම්පාර ලාහුගල රක්ෂිතයේ පිහිටා ඇති නැගෙනහිර පළාතේ විශාලතම මහා දාගැබ ලෙස සැලකෙන ඓතිහාසික නීලගිරි චෛත්‍යරාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අද (නොවැ.10) දින එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ත්රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දශක තුනකට අධික කාලයක් කිසිවෙකුගේ අවධානයට ලක්නොවී අත්හැර දමා තිබු නීලගිරි ස්ථුපයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් 2022 ජනවාරි මාසයේ දී ගුවන් හමුදා සාමාජිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් යලි ආරම්භ කරන ලදි.
සෑ රදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව එහි සිදුකෙරෙන සංවර්ධන කටයුතුවල වත්මන් ප්‍රගතිය පිළිබඳ සොයා බැලූ ආරක්ෂක ලේකම්වරයා එහි ඉදිරි වැඩකටයුතු සිදු කරන ආකාරය පිළිබඳ ව්‍යාපෘතිය භාර නිලධාරීන් සමඟ සාකච්ඡා කොට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදි.
නීලගිරි මහා සෑය පුදබිමේ සිදුකල නිරීක්ෂණ චාරිකාවට, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්, ප්‍රදේශයේ ආරක්ෂාව භාර ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ව්‍යාපෘති භාර නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.