මාධ්‍ය නිවේදනයයි

නොවැම්බර් 11, 2024
  • මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳ ජාතික කාර්ය සාධක බළකායේ අනතුරු ඇඟවීම

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරු වලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම් හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මිට පෙර අවස්ථා කිහිපයකදී මහජනතාව වෙත අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබිය.

ලැබී ඇති නවතම තොරතුරු වලට අනුව දැනට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීමට කටයුතු සිදු වෙමින් පවතින බවත්, සහ එම කඳවුරු වලට අලුතින් එක් වී ඇති ශ්‍රී ලංකික පුරවැසියන්ගේ සංඛ්‍යාත්මක ඉහළ යාමක් නිරීක්ෂණය වන බවටත් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය වෙත විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු ලැබී ඇත.

විදෙස් රටවල ආකර්ශණීය වැටුප් ලැබෙන රැකියා අවස්ථා ලබාදෙන බව පවසා තොරතුරු තාක්‍ෂණ දැනුම ඇති වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් තැනැත්තන් වෙළෙඳාම් සිදුකරන්නන් විසින් මෙය සිදුකරනු ලබන බවට කරුණු අනාවරණය වී ඇත. මෙහිදී ඔවුන් විසින් වෙනත් රටවල ඉහළ වැටුප් සහිතව තොරතුරු තාක්‍ෂණ අංශයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින්  ශ්‍රමිකයින් ආකර්ෂණය කරගනු ලබයි.

පසුව ඔවුන් රැකියා සම්මුඛ පරීක්‍ෂණයන්ට සහභාගී කරවන මුවාවෙන් ඩුබායි වැනි රටවලට ගෙන ගොස් නීති විරෝධි අන්දමින් මියන්මාරයේ සයිබර් අපරාධ සිදුකරන කඳවුරුවල සේවය සඳහා බලහත්කාරයෙන් යොමු කොට ඇත. මෙම සයිබර් අපරාධ කඳවුරු වලදී ඔවුන්ව මානසික වධ හිංසනයන්ට මෙන්ම විදුලි සැර ඇල්ලීම් වැනි ම්ලේච්ඡ ශාරීරික වධහිංසාවන්ට ද පවා ලක්කර ඇති බව මෑතකාලීන විමර්ශන මගින් අනාවරණය වී ඇත.

"නීතිවිරෝධි සංක්‍රමණ මාර්ග භාවිතා කිරීම දැඩි ලෙස අවධානම් වන අතර, එමගින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත උල්ලංඝනය කරන බැවින්, රැකියා අපේක්‍ෂකයින් සංචාරක වීසා මත වෙනත් රටවලට ගමන් කිරීම නොකල යුතුය." යන්න තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය මෙහිදී තවදුරටත් අවධාරණය කර සිටී.

ඒ අනුව තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය, මහජනතාවගෙන් පහත දැක්වෙන පරිදි සහයෝගය අපේක්‍ෂා කෙරේ:

•       රැකියා ඉලක්කගත සංක්‍රමණය සඳහා බලයලත් ආයතන හරහා ආරක්‍ෂිත, නීත්‍යානුකූල ක්‍රම අනුගමනය කිරීමට කටයුතු කිරීම.

•       සුපරීක්‍ෂාකාරීව සිටීම සහ සැක කටයුතු තැනැත්තන් වෙළඳාම් පිළිබද වාර්තා කිරීම.

•       එලෙස අවදානමට ලක්වී දැනට විදෙස්ගතව සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයන් හා ඔවුන්ගේ මෙරට සිටින නෑදෑ හිතමිත්‍රාදීන් පිලිබඳව අදාල අංශ වෙත දැනුම් දීම ඔස්සේ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්‍ෂා කිරීම.

එමෙන්ම, එවැනි සැක කටයුතු ක්‍රියාකාරකම් පිලිබඳව පහත දක්වා ඇති දුරකථන අංක හෝ ඊමේල් ලිපිනයන් ඔස්සේ දැනුම් දීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතරම, තොරතුරු ලබාදෙනු ලබන පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්‍ෂා කිරීමට තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය බැඳී සිටින බවද මේ ඔස්සේ අවධාරණය කරයි.

•    0112102570/ 076 844 7700
•    nahttfsrilanka@gmail.com

අප සියලු දෙනාගේ සුපරීක්‍ෂාකාරීත්වය මෙම භයානක අපරාධකරුවන්ගේ ජාලයන් මර්ධනයට සහ අපගේ සමීපතමයන්ගේ ජීවිත බේරා ගැනීමට උපකාරී වනු ඇත.