ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය සමඟ
7 වන ඉහළ මට්ටමේ රැස්වීමක් පවත්වයි
නොවැම්බර් 12, 2024
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය සමඟ 7 වැනි වාර්ෂික ඉහළ පෙළේ රැස්වීම පසුගිය සඳුදා (නොවැ 11) කොළඹදී පවත්වන ලදී.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ නියෝජිත පිරිස වෙරළාරක්ෂක බලකායේ අධ්යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රාජප්රිය සේරසිංහ විසින් මෙහෙයවන ලද අතර, ඉන්දීය දූත පිරිස ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අධ්යක්ෂ ජෙනරාල් එස් පරමේෂ් විසින් මෙහෙයවන ලදී.
මෙම කලාපය තුළ ආරක්ෂිත සමුද්‍රීය පරිසරයක් පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව කරන ලද බවත්, එහිදී සෙවීමේ සහ ගලවාගැනීමේ මෙහෙයුම්, සමුද්‍ර පරිසර ආරක්ෂණය සහ සමුද්‍ර දූෂණ සිදුවීම්වලට ප්‍රතිචාර දැක්වීමේදී අන්තර් ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම සඳහා ආරක්ෂාව සහ සමස්ත සමුද්‍රීය ආරක්ෂාව යන මාතෘකා සාකච්ඡාවට ලක්කර ඇති බවත් වෙරළාරක්ෂක බලකා මාධ්‍ය අනාවරණය කරන ලදී.
ඒකාබද්ධ මෙහෙයුම්, තොරතුරු හුවමාරුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණය, සෙවීමේ සහ මුදාගැනීම් මෙහෙයුම් ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන්වල සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැපවීමෙන් මෙම රැස්වීම අවසන් විය. හවුල් අභියෝගවලට මුහුණ දීම සඳහා මෙම මුල පිරීම් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවට නියෝජිතායතන දෙකම ප්‍රකාශ කර සිටි අතර, එය කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා දායක වන බව වෙරළාරක්ෂක බලකා වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජිතයෙකු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ද මෙම රැස්වීමට එක්වී සිටි බව වෙරළාරක්ෂක බලකායේ මාධ්‍ය පවසයි.