වාර්ෂික සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි සැමරුම
අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 24 දා

නොවැම්බර් 21, 2024

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය හා එම සංගමය යටතේ ක්‍රියාත්මක සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි කමිටුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොපි සැමරුම් උත්සවය, අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් එළඹෙන නොවැම්බර් 24 දින කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටා ඇති යුධ විරු ස්මාරකය අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට තිබේ.

ලෝකය පුරා සියලු රටවල, පළමු ලෝක යුද්ධයේ සිට මේ දක්වා රට වෙනුවෙන් දිවි පිදු හා අබාධිත තත්වයන්ට පත් වූ රණවිරුවන් සිහි කිරීම උදෙසා ජාත්‍යන්තර පොපි සැමරුම් උත්සව සෑම වර්ෂයකම නොවැම්බර් මාසයේ දී පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය වේ.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අතර, මිත්‍රශිලිභාවය, සුහදත්වය හා සහෝදරත්වය අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් 1944 වසරේදී ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය පිහිටුවන ලදී. දැනට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි කමිටුවට යටත්ව දිවයින පුරා අනු සංගම් 44 ක් ද, එක්සත් රාජධානියේ හා ඕස්ට්‍රේලියාවේ තවත් කමිටු 1 බැගින්ද, ක්‍රියාත්මක වේ. ඒ අනුව විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 50,000 ක් පමණ මෙම සංගමයේ සාමාජිකත්වය ලබා ඇත.
 
වාර්ෂික පොපි සැමරුම් උත්සවයට සමගාමිව පොපි මල් පළඳනා, මල් දම් සහ ස්ටිකර් අලෙවිය සිදු කරනු ලබයි. එහිදී පොපි මලක් ලබාගෙන තමන්ට කැමති පරිදි මුදලක් පරිත්‍යාග කිරීමට ජනතාවට අවස්ථාව සලසා දී තිබෙන අතර, එමගින් ලැබෙන ආදායම පුර්ණ වශයෙන් විශ්‍රාමික රණවිරුවන්ගේ සුභසාධන කටයුතු සඳහා යොදා ගනු ලබයි.

එලෙස පොපි සමරු මල් අලෙවියෙන් ලැබෙන ආදායමෙන් සුභසාධන ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. මේවන විට සරණක් අවැසි විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් කටාන බෝලගල හා කටුගස්තොට යන ප්‍රදේශ වල රණවිරු නිවස්න දෙකක් පවත්වා ගෙන යනු ලබන අතර, එමගින් සාමාජිකයින් 30 දෙනෙකුට පමණ පුර්ණ රැකවරණය ලබාදීමට කටයුතු සලසා තිබේ. එමෙන්ම, සාමාජිකයන්ගේ ශල්‍යකර්ම හෝ රෝගී අවශ්‍යතාවයන් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මෙන්ම, ඇස් කණ්නාඩි හෝ ශ්‍රවනාධාර වැනි වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය මුල්‍ය අනුග්‍රහය සැපයීම ද, මෙමගින් සිදු කෙරේ. ස්වභාවික විපත් හෝ හදිසි ආපදා තත්වයකදී මෙම සංගමයේ විධායක කමිටු අනුමැතිය පරිදි විපතට පත් සාමාජිකයන් වෙත අවශ්‍ය මුල්‍යාධාර සැපයීමටද කටයුතු කරනු ලබයි.

තවද, වසර පහකින් ගෙවා නිමකල හැකි පරිදි සහනදායි පොලියක් යටතේ රුපියල් ලක්‍ෂ පහක් දක්වා මුල්‍ය ණය පහසුකම් සැපයීම, ස්වයං රැකියා පුහුණු ව්‍යාපෘති, සාමාජිකයන්ගේ දු දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවයන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම හා රැකියා බැංකුවක් හරහා සාමාජිකයන්ට හෝ ඔවුන්ගේ දරුවන්ට රැකියා අවස්ථා ලබා දීම ආදී වශයෙන් දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලට අමතරව, ඉදිරියේදී සාමාජිකයන් වෙනුවෙන් පරෝපකාරී රක්‍ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමට ද කටයුතු යොදා ඇත.

මෙම සුභසාධක ව්‍යාපෘති සියල්ල සඳහා පොපි සමරු මල් අලෙවියෙන් ලැබෙන ආදායමෙන් සැලකිය යුතු දායකත්වයක් ලැබේ. එම නිසා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය හා එම සංගමය යටතේ ක්‍රියාත්මක සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි කමිටුව විසින් හැකි උපරිම දායකත්වයක් ලබා දෙනමෙන් ජනතාවගෙන් ඉල්ලා සිටි.