ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකාය එක්ව
දියත් කල මෙහෙයුමකින් අයිස් මත්ද්‍රව්‍ය සහ කොකේන් ප්‍රවාහනය කරමින් සිටි
ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

නොවැම්බර් 25, 2024

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකාය අතර සාර්ථක ඒකාබද්ධ බුද්ධි හුවමාරු මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස පසුගියදා (නොවැ. 23) අයිස් මත්ද්‍රව්‍ය (crystal methamphetamine) කිලෝග්‍රෑම් 344 ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 124 ක් රැගත් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් මාලදිවයින් රජයට අයත් අනන්‍ය ආර්ථික කළාපය තුළදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

මාලදිවයින් සමුද්‍රිය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් තම මුහුදු සීමාවට ඇතුළු වූ මෙම සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාව පිළිබඳව කොළඹ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රිය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමත් සමඟ මෙහෙයුම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරනු ලැබිය. ඒ අනුව මෙම යාත්‍රාව පිලිබඳ තිබු පූර්ව වාර්තා සහ බුද්ධි තොරතුරු පිළිබඳව සිදුකල විමර්ශන ඔස්සේ, මෙම යාත්‍රාව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත. මෙම බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකාය සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි ට්‍රෝලර් යාත්‍රාව අත්අඩංගුවට ගත් බව ද මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම ජාවාරම්කරුවන් විසින් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට අපේක්‍ෂිත ගමනාන්තය නිශ්චය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකාය එක්ව මේ වන විට පරීක්‍ෂණ සිදුකරමින් පවතී. ධීවර කටයුතු මුවාවෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා කලාපීය පාර්ශ්වකරුවන් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාකාරී සහයෝගීතාවය මෙම මෙහෙයුම ඔස්සේ විදහා දක්වයි.