ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඇමරිකා එක්සත් ජනපද මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය එක්ව සිදුකල රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක සහ න්‍යෂ්ටික විශේෂඥ හුවමාරු පුහුණු වැඩසටහන සාර්ථකව නිමා වෙයි
නොවැම්බර් 25, 2024ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඇමරිකා එක්සත් ජනපද මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය එක්ව රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක සහ න්‍යෂ්ටික ප්‍රතිචාර මෙන්ම පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීම සහ වරාය ආශ්රිත ප්‍රතිසාධනය පිළිබඳ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමේ අරමුණින්, පසුගිය නොවැම්බර් 18 සිට 22 දක්වා කටුනායක ගුවන් හමුදා මුලික කඳවුරේදී පැවැත්වූ පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් වූ බව ගුවන් හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
මෙම පුහුණු වැඩමුළුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාව, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු ජාතික සංවිධාන අතර, සහයෝගීතාවයෙන් හා ඊට අවශ්‍ය සම්පත් දායකත්වයෙන් සිදු කරන ලද බව මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
නුතන ලෝකයේ භාවිත වන රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක හෝ න්‍යෂ්ටික අවි ආයුධ ඔස්සේ ඇති විය හැකි ප්‍රතිචාර දැක්වීමට අසීරු සංකීර්ණ අභියෝග වලට මෙන්ම විවිධ පුපුරණ ද්‍රව්‍ය මාධ්‍යයන් ඔස්සේ ඇති විය හැකි තර්ජනවලට එරෙහිව සාර්ථකව ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම වෙනුවෙන් එම විෂයානුබද්ධ විවිධ පාර්ශ්වකරුවන් සමඟ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමත් මෙවැනි අසීරු අවස්ථාවන්හිදී ක්‍රියා කිරීමට විශේෂ පුහුණුවක් ලබා ඇති කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ වෘත්තීය හැකියාවන් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කැපවීමත් මෙම මුලපිරීම ඔස්සේ අවධාරණය කර සිටී.