බංග්ලාදේශ ජනරජයේ 53 වැනි සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවය
ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

නොවැම්බර් 26, 2024

බංග්ලාදේශ ජනරජයේ 53 වැනි සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) ඊයේ (නොවැ 25) දින සන්ධ්‍යාවේ කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කොට තිබු මෙම උත්සවයට සපැමිණි ආරක්‍ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අතිගරු Andalib Elias මැතිතුමා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු M. Moniruzzaman මෙම  උත්සවයේ පිළිගැනීමේ කතාව සිදුකරන ලදි.

එහිදී රැස්ව සිටි සම්භාවනීය අමුත්තන් අමතමින්, ආරක්‍ෂක ලේකම්වරයා, බංග්ලාදේශය නිදහස් කාර ගැනීම උදෙසා සිදු කලාවූ මහා සංග්‍රාමයේ ජයග්‍රණය සමරනු වස් එහි 53 වැනි සංවත්සරය සනිටුහන් කරන මෙම උත්කර්ශවත් අවස්ථාවේ බංග්ලාදේශ ජනරජයේ සන්නද්ධ හමුදාවන් වෙත සිය සුභාශිංසන එක්කරන බව ප්‍රකාශ කළේය.
 
“බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ඉතිහාසය පුරාම ඉතා ශක්තිමත්, සුහදශීලී අන්තර් සබඳතාවක් පවත්වා ඇති  බවත් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විකාශනය වෙමින් පවතින බංග්ලාදේශය සමඟ අපගේ සබඳතාවයන් අද වනවිට වඩාත් උපායමාර්ගික තත්ත්වයකට පැමිණ තිබෙන බවත් ආරක්‍ෂක ලේකම්වරයා එහිදී සඳහන් කළේය. එමෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ද, මෙම අවස්ථාව සැළකිය යුතු බව ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එම අවස්ථාව සනිටුහන් කරමින් බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා විසින් ආරක්‍ෂක ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි.

රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.