දිවයිනට බලපා ඇති තද වැසි සහ තද සුළං සහිත කාලගුණික තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ

නොවැම්බර් 26, 2024
  • නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය දිවයිනට සමීප වීමේ අවදානමක්
  • විපතට පත් ප්‍රජාවන්ට අවශ්‍ය සහන සැපයීම සඳහා ත්‍රිවිධ හමුදා ගලවා ගැනීමේ සහ සහන කණ්ඩායම් සූදානමින්
  • ප්‍රදේශ කිහිපයකට නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ.
  • උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල මිලිමීටර් 200 ට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ.

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බල පා ඇති තද සුළං සමඟ පවතින අධික වර්ෂාව තව දුරටත් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (නොවැ 26) දින උදෑසන නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාත තත්වය ඊයේ (නොවැ 25) දින රාත්‍රී 11.30 ට පමණ මඩකලපුවට කිලෝමීටර් 290 ක් සහ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 410 ක් පමණ ගිනිකොණ දෙසින් ස්ථානගත වී ඇති බවට නිරීක්ෂණය වී ඇත.

එමෙන්ම මෙම අඩු පීඩන කලාපය වයඹ දෙසට ගමන් කොට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී දිවයිනේ නැගෙනහිර වෙරළට ඉතා ආසන්නයෙන් ගමන් කිරීමට හැකියාවක් පවතින බව ද එම වාර්තාවේ දැක්වේ.

දිවයිනට ඉහළ අවකාශය වළාකුලින් බරව පවතින අතර බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

එමෙන්ම උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන කිහිපයක මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

පසුගිය පැය 24ක කාලසීමාව තුල වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 191 ලෙස අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයෙන් වාර්තා විය.

උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී.40-50 පමණ වන තද සුළං බලාපොරොත්තු විය හැකි අතර ඉදිරි දිනවලදී එහි වර්ධනයක් බලාපොරොත්තු විය හැක. තවද උතුරු පළාතේ විටින් විට හමන පැ.කි.මී.60-70 දක්වා තද සුළං තත්වයන්ද ඇති විය හැක.

විටින් විට හමන සුළගේ වේගය පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි බැවින් දිවයින වටා මුහුද ප්‍රදේශය ඉතා රළු ස්වභාවයක් ගනී. දිවයින වටා වන මුහුදේ ඇතැම් ස්ථානවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මහවැලි ගඟ සහ හැඩ ඔය ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම්වලට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

දිඹුලාගල, එච්චිලම්පට්ටායි, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, කෝරළෙයි පත්තු උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, තම්පලකාමම් සහ වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් අවදානම් ප්‍රදේශ ලෙස දක්වා ඇත.

හැඩ ඔය ආශ්‍රිත පහත් බිම්වලට සියඹලාණ්ඩුව සහ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඇතුළත් වේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල හඳුනාගත් ප්‍රදේශ කිහිපයකට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇත.