යාපනය අර්ධද්වීපයේ ආපදා සහන මෙහෙයුම්
ආරක්ෂක ලේකම්වරයාගේ නිරීක්ෂණයට
නොවැම්බර් 28, 2024
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ ආපදාවට ලක්වී ඇති ජනතාව වෙනුවෙන් සිදුකෙරෙමින් පවතින ආපදා සහන සැලසීමේ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (නොවැ 28) දින එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් උදය හේරත් (විශ්‍රාමික) සහ යාපනයේ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද එක් වූ මෙම නිරීක්ෂණ චාරිකාවේදී ආරක්ෂක ලේකම්වරයා ආපදා සහන මෙහෙයුම්වල නිරත රාජ්‍ය නිලධාරීන් හමුවී ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව සිදු කෙරෙන සහන සැලසීමේ මෙහෙයුම්වල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීය.
යාපනය අර්ධද්වීපයට පැමිණි ආරක්ෂක ලේකම්වරයා, ආපදාවට ලක්වූ ජනතාව රඳවා සිටින කට්කුලම් විද්‍යාලය සහ පේදුරුතුඩුව මධ්‍ය විද්‍යාලය වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය. එම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන සුබසාධන වැඩපිළිවෙල පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව ඔවුන් වෙත වියළි සලාක ඇසුරුම් බෙදාදීම ද සිදුකෙරිණ.
ඉන්පසු යාපනය අර්ධද්වීපයේ ගංවතුරෙන් යට වී ඇති ප්‍රදේශ වල වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ආරක්ෂක ලේකම්වරයා ගුවන් නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
ඉන් අනතුරුව, නල්ලූර් ප්‍රදේශයේ වත්මන් තත්ත්වය සහ එහි ක්‍රියාත්මක වන සහන කටයුතු පිළිබඳව සොයා බැලු ආරක්ෂක ලේකම්වරයා, විපතට පත් ප්රජාවන්ගේ මුලික අවශ්‍යතා සපුරාලීමට සහ ඔවුන්ට අවශ්‍ය සහාය අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාර ගරු ආර්. නාගලිංගම් වේතනායහන් මැතිතුමා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු. රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේදී රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් නිලධාරීන් සමඟ වත්මන් ආපදා සහන මෙහෙයුම් සහ අවතැන් වූ ප්රජාවන්ගේ සහ ඔවුන්ගේ දේපලවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කරන ලදි.
පසුගිය දින කිහිපය තුළ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ ජනතාව වඩාත් පීඩාවට පත්ව ඇති අතර, ජනාකීර්ණ ප්‍රදේශ ජලයෙන් යටවීම හේතුවෙන් සැලකිය යුතු පිරිසක් අවතැන් වී ඇති අතර, ඔවුන්ගෙන් බහුතරයක් මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත.