ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අම්පාර ප්‍රදේශයේ ගංවතුර ආපදා සහන කටයුතු නිරීක්‍ෂණය කරයි

නොවැම්බර් 29, 2024

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ අම්පාර දිස්ත්‍රික්කයේ, ගංවතුර නිසා ඇති වී ඇති වත්මන් තත්ත්වය නිරීක්‍ෂණය කිරීමේ සහ ඊට අදාළව දැනට ක්‍රියාත්මක සහන මෙහෙයුම් අධීක්‍ෂණය කිරීමේ අරමුණින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ඊයේ (නොවැ. 28) දින අම්පාර ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

ඒ අනුව අවශ්‍ය ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කැඳවා තිබිණි. එහිදී රැස්ව සිටි නිලධාරීන් විසින් වත්මන් තත්ත්වය සමාලෝචනය කළ අතර, විපතට පත් පවුල් සඳහා ආපදා සහන සැලසීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රමෝපායන් සහ ඇති විය හැකි අවදානම් අවම කිරීමට ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම සාකච්ඡාව අතරතුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් දැනට නිශ්චය කර ඇති පරිදි ආපදාවට ලක් වී ඇති ප්‍රදේශ, ජීවිත හා දේපළ හානි පිළිබඳ මෙන්ම දිස්ත්‍රික්කය තුල සහන සේවා ක්‍රියාත්මක කිරීමේදී ඇති වී තිබෙන අභියෝග ඇතුළු විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාට දැනුවත් කරන ලදි. එම කරුණු විමසීමෙන් පසු එළඹි තීරණයන්ට අනුව ජනතාව වෙනුවෙන් අවශ්‍ය සහන කටයුතු කඩිනම් කරන ලෙසත්, අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම සහතික කරන ලෙසත්, ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු වෙනුවෙන් ප්‍රමුඛත්වය හා උපරිම සහයෝගය ලබා දෙන ලෙසත්, නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන් හට උපදෙස් දුන්නේය. එමෙන්ම ඉදිරියේදී ඇති විය හැකි ආපදා තත්වයන් වැළැක්වීම, මහජන ආරක්‍ෂාව සහ සුරක්‍ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින ජනතාවගේ සුබසාධන කටයුතු ක්‍රමවත් කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

මෙම සාකච්ඡාවට අම්පාර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, යුධ හමුදාපති, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, සෞඛ්‍ය සේවා, පොලිස් සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී විය.

අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා අම්පාර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස විපතට පත් ප්‍රදේශවල නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය. එහිදී විපතට පත් පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව පෞද්ගලිකවම සොයා බැලූ අමාත්‍යවරයා ඔවුන්ගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සහතික විය.