ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති රටදැය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්‍ෂිතයට
පත් රණවිරුවන්ගේ සුබසාධනය ගැන සොයා බලයි

දෙසැම්බර් 11, 2024

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මව්බිමේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සහ ප්‍රතිලාභ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය පිළිබද සොයාබැලීම සඳහා වන සාකච්ඡාවක් අද (දෙසැ 11) නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ මෙම සාකච්ඡාවට එක් විය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - ආරක්‍ෂක, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද මෙම රැස්වීමට එක්ව සිටියහ.

අදාළ ගැටළු වලට විසඳුම් ලබා දීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබා දෙන ලදි. එම මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අතිරේක ලේකම් - ආරක්‍ෂක නම් කරන ලද අතර, රණවිරු සේවා අධිකාරියෙහි සභාපතිවරයා, ත්‍රිවිධ හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලවල අධ්‍යක්‍ෂවරුන් සහ අනෙකුත් අදාල ක්ෂේත්‍රයන්හි ප්‍රධාන නිලධාරීන් ඒ සඳහා  ඇතුළත් වේ.

රටදැය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ අවශ්‍යතා සහ ගැටලු නිසි ලෙස හඳුනා ගැනීමේ වැදගත්කම මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණු අතර, හදුනාගනු ලබන ගැටළු සඳහා ක්ෂණික විසඳුම් ලබා දීම මෙම මණ්ඩලයට පැවරී ඇත.

ව්‍යුහගත සහ සහයෝගී ප්‍රවේශයක් තුළින් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සහතික කිරීමට සහ ඔවුන්ගේ අවශ්‍යතා ඵලදායී ලෙස විසඳීම සඳහා වන රජයේ කැපවීම මෙම මුලපිරීම මගින් අවධාරණය කර ඇත.